මා යන මග පිලිගන්නට මෙන්
ඇහැල ගසේ මල් බිමට වැටීමෙන්
කහ පැහැ ඇතිරිලි මගට එලමින්
මගෙහි සෑදි ඇත පයට පාවඩ වියන්
වෙනදාට මෙහි ඇසෙන කුරුලු ගී හඬ කොහිද
මලින් මලට පැන ගිය බඹරුන් තනිවීද
මා නැවත මේ පාරෙ නොඑන බව දැනුනාද
ඒ දුකින් නුඹලගේ පුංචි හොට ගොලු වීද
හිරුත් මලානිකව බලා හිඳී හිස් අහසේ
කළු වලාකුලුවලින් ඝනදුර පැතිරෙයි පෙදෙසේ
දසතින් හමා එන සුලං කුමරු රහසේ
දැවටෙන්න එන් නැද්ද මා සමග පෙරසේ
වෙනදාට සුපිපී අරලිය මල් හිනා වෙන
ඇයිද අද දුකින් මෙන් පරව බිම බලාගෙන
පෙරදාක දියට පැන කුඩ මසෙකු අල්ලන
පිලිහුඩුවෝ සිටී අද තපස් රැකගෙන
ගං දියට තුරුල් වී දිය සිඹින කුඹූක් අතු
ඇයි එසේ නොකරනු ඇසුනාද මගේ තතු
ගුරු පාරෙ විහිදුනු විසල් නුග ගස් ඇතු
නිසොල්මන්ව බලා හිඳී හකුලාගෙන අතු
අදින් පසු ගුරු පාරෙ මා නැවත නොඑනු ඇත
කුරුළු කුමරුනි ඔබව මතු හමු නොවන ඇත
අවසාන වතාවට සතුටු කර මා සිත
ඉතින් අවසරයි ගයනු මැන කුරුළු ගීත
සකුන්ත හිරිමුතුගොඩ