Thursday, December 29, 2016

සිහිනය


කුමරී 

නිසොල්මනේ

සැතපෙයි නිදි යහන මත

දකිමින් සුබ සිහින

හෙට දවස පිලිබඳව


මුව මඩල මත වැටුනු

අවුල් වූ කෙහෙරැලි 

අතරින් මතුවේය

සිහින දකින කල

සිහින් සිනහවක්

උදෑසන පිබිදෙන

මලක් සේ සුන්දර


සැඩ සුළං හැමූ

බියකරු රාත්‍රිය 

දෙකම්මුල් පෙති මත

අතුල

කඳුළු බිඳු

පිස දමයි සිහිනෙන්ම


සිහිනය නිම වී

සැබෑ ලොවට පැමිනි කල

නිදි ගැහැට හැර

විමසයි දුක්බරව

“සැබෑ ලොව සිහිනයට කෙතරම් සතුරුද?”


සැබෑ ලොව කෙතරම්

කටුක වූවද

සුන්දර හෙට දිනක් ගැන 

සිහිනය බිඳ නොහෙලනු මැන


සිහිනය මිහිරි වන්නේ

එය සැබැවන තරමටම 

නොවෙද


එන්න 

අපි ඇවිද යමු

අතින් අත නොහැරම

රළු බොරලු ඇතිරුනු 

කටුක

ජීවිත මාවතේ

සිහින සපුරාගන්නට


පහසු නැත එය 

නමුත් 

අප තනා ගත යුතුය

සිහින සපිරෙන ලොවක්


~සකුන්ත හිරිමුතුගොඩ~


Tuesday, November 1, 2016

වසන්තය ආයෙමත් ඇවිදින්


වසන්තය ආයෙමත් ඇවිදින්

නුහුරු සුවඳක් අරන්

ගිලිහුනු මල් පොකුර

නටු අගට පලඳන්න

වසන්තය ආයෙමත් ඇවිදින්


වසත් සඳ විලසින් ඔබේ වත පායලා

මගේ සිත ඇහැරවයි පෙම් මල් පුබුදුවා

බඹර ගුම් නද අරන් ඔබ ආ නිසා  

තුරු අගට ඵල වැල නැගෙන

වසන්තය ආයෙමත් ඇවිදින්


ඉරි තැලුනු හදවතේ රිදුනු තැන් සිසාරා

ගඟක් සේ ඔබ ගලයි ප්‍රේමයෙන් සනසවා

සෙනෙහසේ වැහි බිඳු අරන් ඔබ ආ නිසා

සිනා මල් මුවගට නැගෙන

වසන්තය ආයෙමත් ඇවිදින්


                                   සකුන්ත හිරිමුතුගොඩ


Monday, October 24, 2016

අකාලයේ මියැදුනු සඳ


2016 ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදු කල පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය තරුනයින් දෙදෙනෙක් සහ එම සිද්ධිය යට ගැසීමට දැන් ඇමරිකාවේ මෙන්ම ලංකාවේ ආන්ඩුව ගෙන ගිය ක්‍රියා කලාපය පිලිබඳව ලියැවුනු කවියකි.


අහෝ බලව් වෙඩි උන්ඩයේ        මදහසින

දපා වැටී උඩු බැල්ලෙන් බිම         සිඹින

රත් පැහැ සයනයේ යලි නොඑනට  නිදන

මිනිසෙක් සිටී මරුවා තුරුලට     රැගෙන


අම්මා තාත්තා අඬ අඬ බිම       හැපෙති

රැස්ව සිටියවුන් කසු කුසු හඬ      නගති

පුවත ඇසුනු අය තැන තැන සැරි   සරති

සිද්ධිය ඇසින් දුටු සඳ තරු ගොලුව යති


ත්‍රස්තවාදියෙකු යැයි හංවඩු       ගැසුවේය

මල් පැන් පොදක් තොල ගෑවයි දොස් කීය

සැබෑ වැරදිකරුවන් අත්              සේදීය

වසන්තයේ සඳ අඳුරට                බිලිවීය


ගතවූ දිනේ රෑ සඳ පානේ       සිටිය

ඔහු යන්නට වීය බලමින්        පුරය

කාකි ඇඳුම එසවූ බටයෙන් නැගුන

චීන පටස් හඬකින් ඔහු විය නිසල


මූසල රැය පුරා නගරයෙ සැරි       සැරුව

ගොදුරට ලොබින් ඉව අල්ලාගෙන ඇදුන

අවසන් හුස්ම ගෙන ඔහුගේ          සරන

සුලඟ කියනු මැන සිදුවූ දෙය        සැමට


                   සකුන්ත හිරිමුතුගොඩ

සඳ තරු නැගිට එනු මුනිවත       රකින

අළුයම නැගෙන හිරු සේ දුරු කර අඳුර

අකලට මිලින වූ කුසුමේ               අරුම

කියා යනු මැනවි හඬගා මුලු    ලොවට


Saturday, October 1, 2016

නපුරුම සඳවතිය

 නපුරුම සඳවතිය


සඳ කුමරී නිසංසලේ ගගනේ සැරි සරන්නී

දුහුල් වලා සළු පොරවා එබී          බලන්නී

සිනා කැළුම් සිත රඳවා නෙත     රවටන්නී

අළුයම කඳුලක් දල්වා සැඟවී           යන්නී


නින්ද නෙතු අගට පියඹා       නොඑන

දිනෙක ඇවිත් හදවත රහසේ    සිඹින

දෙනෙත් පෙලා රෑ තුන්‍ යම හිත දවන

නපුරුම සඳවතිය කිසිදා හිමි නොවන


ගව් ගනන් දුරින් ඈතට වී              සිටින

මිරිඟුවක් ලෙසින් මා හද ලඟ        ලගින

මගෙ හද විමානෙ කඳුලින් මල්    පිපෙන

පිපෙන්න සඳවත මල් පොකුරක් ලෙසින


   ~ සකුන්ත හිරිමුතුගොඩ~


Thursday, September 1, 2016

සොරාගත් සිහිනය


මගෙන් සොරාගත් සිහිනය සඳ කුමරා හැංගී                 සිට

සෙමෙන් සෙමෙන් තුරුළු කරයි මගෙ කුමරිගෙ මුව මඬලට

වලාකුලින් පෙරා එවයි සඳ රැස් බිඳු දෙතොල්               අගට

දෙන්න නැවත සඳ කුමරුනි මගෙ සිහිනයෙ අයිතිය      මට


ඈත දිලෙන තරුවැල් පෙල නෙත නොපියා       හිඳිමින්

බලා සිටී ඇගේ දෑස නිසොල්මන්ව උමතු             සිතින්

නොරැඳී රෑ ආකාසේ ගිමන් නිවනා                    විලසින්

දෙන්න නැවත මගෙ සිහිනය මට විඳිනට පුරුදු ලෙසින්


පිනි බිඳු එකින් එක ඇගෙ කම්මුල් මතට වැදී

මල් පෙති මත රැඳුනු මොලකැටි සුවය     විඳී

සොරාගත් සිහිනයේ සුව විඳිනා විටදි     රැඳී

ඉරිසියාවෙන් පිරෙයි මා හද රිදුම්             දිදී


සරාගී නුවන් මා වෙත                   විහිදාම

රත් ලවන් විවර කොට සවනට කොඳුරාම

මා හද තුල ඈ ඇඳි සිහින              සිතුවම

තුරුළු කරනා වරම මට පමනිය      උරුම



                                                 ~සකුන්ත හිරිමුතුගොඩ~


Sunday, May 15, 2016

නොනිදන රැය


සුලං රැල් සිසිල ගෙන ඇදී එයි මා වෙතට

මගේ වත ඔබේ වත සොයයි රෑ උනුසුමට

නෙතු පියන් අද්දරින් ඔබේ රුව මැවේ මට

නොනිදාම නිදමි මම පහන් වන තුරාවට


එදා සිට තනිකමට හුරුවෙලා හිටිය මට

දැනෙයි අද තනිකම නුහුරක් ලෙසටම

මතක පොත දිගහැර සිත ගැහෙන සීතලට

එකින් එක දවන්නෙමි උනුසුමක් ලබන්නට


තව තවත් හද මත රැඳෙන්නේ කුමටද

අමතකද නුඹ හට මගෙන් වෙන්වුනු බව

දමා මා තනිකර නුබ ගියදා සිටම

හිමි නැහැ මගේ සිත නවතින්න ඔබ හට


                               ~සකුන්ත හිරිමුතුගොඩ~


Monday, April 11, 2016

අපගේ රාත්‍රිය


ඇගෙ මුහුනට මුහුන බලා ආල කතා අහන් ඉන්න

දිලිසෙන ඇගෙ තරු නෙත් දෙස නෙත නොපියා බලා ඉන්න

ඇයට ලංවෙලා හිඳගෙන මලේ සුවඳ මට                විඳින්න

සඳ කුමරුනි ඇය සමගින් සිහිනයෙ තනිවෙන්න     දෙන්න


පිනි බිඳු එක දෙක වැටිලා ඇගෙ කොපුලට සිහිල දෙන්න

ඇගෙ කම්මුල් මත තිබෙනා පිනි බිඳු වල රස      බලන්න

මල නොතලා රොන් උරනා බබරෙකු සේ රොන් උරන්න

සඳ කුමරුනි මගෙ සිහිනය මට විඳින්න ඉඩ         හරින්න


සිහිල් සුලං දැවටෙන විට ලැමට තුරුලු වී     හිඳින්න

ඇගේ අකීකරු කෙහෙරැලි මගෙ මුහුනත දඟ කරන්න

කළුවර රෑ සිරි යහනේ පෙම් සිහිනයේ සුව     විඳින්න

සඳ කුමරුනි මට ඉඩදී ඔබ ඔබේ නෙතු     පියාගන්න


                                                  ~සකුන්ත හිරිමුතුගොඩ~


Tuesday, March 1, 2016

අනෝරා වැසි වැටෙයි


අනෝරා වැසි වැටෙයි 

කැකුලු මල් තුරු අගින් ගිලිහෙයි

කඳුලු මහ වරුසා වැටෙයි

මිහිරි මතකය තවම සිත අසලයි


නෙතු අඟ කඳුලින් පිරී සැලෙන විට

කඳුළු පිසලා මා සැනසූ ඔබ

කඳුලු මහ වරුසා වැටෙන කල

දරාගන්නට මා පමනි අද


පෙම් කතාවක මිහිරි බව රැඳි

සොඳුරු තැන් පිරි නුඹේ මතකය 

කඳුලු වරුසා සිතට කැන්දන

දරාගන්නට මා පමනි අද


~සකුන්ත හිරිමුතුගොඩ~


Tuesday, February 16, 2016

අඳුර එන්න


සඳ නොමැති මේ රැය පුරා

හිඳිමි තනිකමේ වෙලිලා

අඳුර ඇවිත් මගෙ තනියට 

හිඳිනු මැන මුලු රැය පුරා


නෙතඟින් කඳුළැලි ගලා හැලෙන විට

අඳුර ඇවිත් ඉකිලනු මැන      තනියට

බිමට වැටෙනා කඳුළු බිඳු             මට

මගේ නොවනා බව          දැනෙන්නට


අහිමි ඇය හා සිහින        ලොව තුල

සැරිසරමි මුළු රැය                 පුරාවට 

ඇය නොමැති බව නොම දැනෙන්නට

එපා යලි අරුණළු        නැගෙන්නට


                                    ~සකුන්ත හිරිමුතුගොඩ~


Wednesday, January 27, 2016

යුද්ධය


මරනය ඉල්ලා

යෝධ සෙබල පෙල

කෙත් යායවල්

සුනු විසුනු කරමින්

ඇදුනි

ලේ පිපාසිතව 

ගොදුරකට අර අදින

යුද ටැංකි වන සතුන්

කුරුමානම් අල්ලමින්

ඉදිරියටම


අවසන් සුසුම් 

පොදි බැඳගෙන

උනුසුම් සුලං ධාරාව

දසතින් හමද්දී

ගස් කොලන්

මහ පොලව 

සිපගෙනම 

අවසන් ගමනේ


වෛරයේ ලැව් ගින්න 

ඇවිලී තැනින් තැන

තන නිල්ල කලු ගැහී

මහ පොලොව ඉරි තැලින


සාමයේ සඳ කිරන

ලැව් ගිනි දුමින් වැසී

මුළු ලොවම ඝනදුරෙහි 

සැඟවිනි


සකුන්ත හිරිමුතුගොඩ