මටම අවනත නොවී
පහතටම ඇද වැටෙන හිස
යන්තමට කෙලින් කර
එකින් එක ඇලවෙන ඇසිපිය
හැකි තරම් විවර කර
අතින් ගිලිහී යමින්
කඩදහිය මත
බලිකුරුටු ඇදි පෑනද
පසෙකින් තබා
බැලුවෙමි මිදුල දෙස
සුරලොව සිට ආ
සුරංඟනාවක්
හඬ නෑසෙන්නට
පියවර මනිමින්
සක්මන් කරමින් ගෙමිදුල මත
හෙමි හෙමින් පියවෙන
නෙතු අතර
ඇවටිලි කරමින්
නිදිබරව
උදාසීන වූ සිතුවිලි
සොරා ගනිමින්
හදවතට පිබිදුනු ආදර සිතුවිලි
ඇතුල් කරමින්
සුරලොව සිට ආ සුරංඟනාවිය
වීය මොහොතකින්
මගෙ ලොව සුරංඟනාවිය
මා හද පතුලින් උතුරා
ගලනා ආදර ගීතය
පන්හිද තුඩගින්
කඩදහිය මත
ලියැවින
කවියක් විලසින්
මා ළගටම ආ සුරංඟනාවිය
ළමැදේ හොවා
මා සුරතල් කරමින්
දඟකාර ඇගිලි තුඩු අගින්
හිස පිරිමදිමින්
රන්වන් සලුවෙන්
පවන් සලන්නට විය
මුලු ජීවිතයම
ඈ ළඟ නැවතී
හෝරා ගත විය නොදැනීම
අලුයම එළඹී
හිරු රැස් වැටෙද්දී
ඉගිලී ගියාය ඈ
නොකියාම මටත් හොරෙන්ම
මගේ හිතත් ගෙන
ඇගේ ලෝකය වෙත
හදවතේ රැඳුණු ආදරය
බර වැඩි වූ නිසාම
ඉගිල යන්නට නොහැකි විය
ඈ පසුපසින් ඈ සිටින ලෝකයට
කෙසේ යන්නද ඈ සිටින ලොව වෙත
මග නොදැන
අවසානයේ මට උරුම
ඇය මෙහි ඉතිරි කර ගිය
මතක සලුව පමණිය…...
~සකුන්ත හිරිමුතුගොඩ~