රැකියාවක් නොමැතිව
ගෙදර ප්රශ්න උහුලාගෙන
හූල්ලමින් ඉන්නා විට
දෙවනි ලෝක යුද්දෙ මැද්දෙ
සීයේ නුඹ ගිය පාරෙම
ඇදී ගියා මං
හීන ගොඩක් පොදි බැඳගෙන
තුවක්කුවත් කරේ තියන්
හිත ගැහි ගැහි යුද්ධය වෙත පිය මැන්නා දැං
පේවී "ආරක්ශාවේ" සිල් පදයට
අපි වගේම මිනිසුන් වෙත
තුවක්කු කඳ මානාගෙන බලන් හිටියා මං
ඉහලින් එන අණ රැකුමට
පිට පිට වෙඩි තියනා විට
ලේ කැටි විසිරෙනු දැක සිත නොසැලුණා නොවේ ඉතිං
මිනිසුන් රැකුමට ආ අප
පුහුණු කලේ නැසුමට බව
ටිකෙන් ටිකට මගේ හිතට තේරුනා සෙමින්
ඕටී නැත නිවාඩු නැත
දින ගණනක් හාමතේය
හීන අහුරු බොල් හුළඟට වීසි කලා මං
යුද ගිනිදැල් ඇවිලීගෙන
වෙඩි පිට වෙඩි වදිනා විට
මගේ හුස්ම වා තලයට විසිරුණා සැනින්
දෙපයින් යුදයට ගිය මම
කර මතින් නිවසට එන කොට
අම්මා අක්කා බිම හැපි හැපි වැලපෙනවා දැං
රට රැකුමට ගිය පුතු ගැන
අනිත්‍ය බව සිහි කරමින්
හාමුදුරුවෝ පවුලේ අයට බණ කිව්වා ඉතිං
අතු වැහැරුණු නුග ගහ යට
සීයේ නුඹෙ සොහොන ළඟින්
මගේ මිනිය හතර රියනෙ වල දැම්මා උං
දහස් ගණන් මිනී මතින්
රතු පාවඩ පලස මැදින්
යුද ජයග්රහණයේ ප්රීතිය සමරනවා උං
සීයේ අපි දිවි පිදුවා නොවේ රටට
කිරුල දරන්නට පොරකන
ලේ රසට ලොබ වුනු රැලකට ගොදුරු වුනා ඉතිං
සීයේ අපෙ මරණින් පසු
නිමාවුණා නොව යුද්ධය
තවමත් යුද ගිනි තැන තැන අවුලනවා උං
සියක් දහස් බොරු ගොතමින්
යුද බිම වෙත දක්කනකොට
හෙට දවසෙත් උන් වෙනුවෙන්
සීයේ අපෙ සොහොන් ලඟින්
තව සොහොනක් තැනේවිද ඉතිං??
~සකුන්ත හිරිමුතුගොඩ~