සඳ නැගී අහස් ගැබ
අත වනයි මට එන්න
පිනි බාන ගේ මිදුලෙ
තරු රටා කියවන්න
මදුරුවෝ වල් පල්
කොඳුරති කන වටකොට
ඒ කතා අසන්නට
මා සිතේ ඉඩක් නැත
නිදිමත අවුදින් කොහේ හිඳ
ඇස් පියන් උඩම ලැගගෙන
ආයාසයකින් තොරවම
මම හිඳිමි නෙත් කවුලු ඇරගෙන
ජනේලෙන් පෙරී එන
සඳ එලිය අතරින්
ලැජ්ජාවෙන් ඈත් වී සිටින
ඔබෙ මුහුන බලමි මම
සඳක් සේ විකසිත මුව මඬල
මුවා වුන කෙහෙරැලි කලු වලා
අතරින් මුදාගෙන ඔබ
සඳකැන් එවන්නී යන්තමට සිනාසී
ඔබේ තරු නෙත් මවන
රටා කියවීමට වෙහෙසුනෙමි
පෙරදාක නොකියූ රහසක්
රැඳී ඇත එහි සැඟව
හැඳින බොහෝ කල් වුවත්
අමුත්තක් දැනේ මට
මේ රැය තවත් රාත්‍රියක්
වාගේ නොහැඟේය
විදුලි පංකාවෙන් එවන
සිහිල් ඉඳිකටු ඇනී
ඈ වැලඳගනී මා උනුසුමට
ලැජ්ජාව අතහැර දමා
-සකුන්ත හිරිමුතුගොඩ-