Saturday, September 26, 2020

අමතක කිරීම


ඔක්කාරයට එන කටුක ගඳ

ඈත මෑත නොපෙනෙන දුමාරය

අතරින් පියනගමි  

දුක් වේදනා පුරවාගෙන

අඳුරුම කෙලවරේ ඇති

පාළු මේසයකට


ටිකෙන් ටික හිස්වන 

මීවිත පිරුනු වීදුරුවෙහි

ඔබේ හ‍ඬ දිය කරමි

නැගෙන දුම් කැරලි අතරෙහි 

ඔබේ රුව සගවා

දැවී යන සිගරට් කොට

තුල

ඒ මතකය අළු කරමි


සිතට වදදෙන මතක 

පලවා හැර

පාව යමි  නිදහසේ

සැබෑ ලොවින් ඉගිලී

වලාකුලක්වත් නොපෙනෙන

ඉමක් කොනක් නොපෙනෙන

හිස් අහස පුරාවට


වීදුරුව හිස් වන විට

පියාපත් අබලන්ව

ඇද වැටේ සැනෙකින්

නුඹේ මතක කඩු තුඩු පිරි

පොලොවට


තුඩු ඇනී දැනෙන රිදුම් සමගින්

ඔබේ රුව හෙමිහිට මතුවේය

දුම් වලා අතරින්


                      ~සකුන්ත හිරිමුතුගොඩ~ 


Tuesday, September 15, 2020

කවි නොලියන හෝරාව


ඉර මියෙන සැඳෑවක

කොල පැහැය ඉහිරුනු උයනක

ඔබේ අතගෙන ඇවිද යන විට

නැගෙන කවි පද 

කොහේදෝ තිබී සොයාගත්

කොල කැබැල්ලක අමුනන විට


දෑතේ එල්ලී

යාන්තමට කොනිත්තා

මුරන්ඩුව ඉල්ලන්නීය නුඹ


නුඹ වෙනුවෙනුත් කවියක්


නිදි වරා තුන් යමට

පදවැල් ගොතා එකිනෙකට

කවියක්  පලකල විගසට

ඇවිටිලි කරයි නුඹ


"අනේ මා වෙනුවෙනුත් කවියක්"


මා පිලිතුරක් දුන් විට

නුඹ වෙනුවෙන් කවියක් ගොතන්නට 

පදවැල් මදිය මට.

නෝක්කාඩුවෙන් ඈ හැරේ ඉවතට

අවනඩුව මුහුන තුල සඟවගෙන

පවසයි

"කවි ලියනවා හැරෙන්නට 

මා වෙනුවෙන් කොහිද කාලයක්"


ඉතින් මා කවි ලීම මඳකට නවතමි.


සොඳුර පිලිගන්න,

මේ කවි නොලියන හෝරාව

නුඹ වෙනුවෙන්

ජීවිතයම ලියන්නටය.


                                 ~සකුන්ත හිරිමුතුගොඩ~


Thursday, September 3, 2020

නුඹේ සිනහව


නුඹේ සිනහ

මහ වැහි පොද

වැටිලා එකිනෙක

ලය මත

පිරී තිරී හද වැව් තෙර

අගුළු දැමූ හද දොරටුව

කඩා දමා

පිටාර ගොස්

උනුව ගිය ලේ නහර ගංගා

සිහිලැල් කර ගලා යමින් 

මුළු සිරුරම පුබුදුවමින්

නැවුම් පනක් මට ලැබදි

දෙතොල් මතින් ගලා හැලේ


         ~සකුන්ත හිරිමුතුගොඩ~