ජීවිතේ කළු වලා සෝ දුකඳුර මැදිනී
සිනා ඉරක් වන්නේ නුඹෙ වත පමනී
~සකුන්ත හිරිමුතුගොඩ~
කෙලි ලොල් කුරුල්ලනි
නයට ගත් තටු වලින්
නිදහසේ කවි ලියමි
නමුත් බාධක උඩින්
පියඹා නොයමි
හස්තිරාජයෙකු සේ
සැනින් බිඳලමි
හංසයිනි ලොව සිටින
දියෙන් කිරි වෙන් කරන
ඔබ මෙන්ම වෙහෙසෙමි
කිරෙන් ආහර තනමි
මල් මෙන් සුමුදු වෙති
අවැසි විට ගොතන කවි
කුළු පහර මෙන් දැඩිය
බිඳිය යුතු විට
මහා උස පර්වත
නිසරු පොලොව මත
ඉසින කලා බිජුවට
වැඩෙනු ඇත සරුවට
වසත් කල සරසන්න
උයන් පල්ලනි හනික
මේ කවි කියවන්න
නිසරු පස පෙරලන්න
වසන්තයට ඉඩ දෙන්න
-සකුන්ත හිරිමුතුගොඩ-
අප්‍රකාශිත ප්‍රේමයක වේදනාව
ගැබ්බරයි සිත
නව මසක් නොව
සොලොස් මසකුත්
දරා සිට
මෝරා වැඩෙන පෙම් ගැබ
ඔබ කෙරෙහි උපන් හැඟුමෙන්
ඉක්මන් ප්‍රසූතිය අහිතකරයි
බොහෝ කල් දරා සිට
දැන් සිතට වෙහෙසයි
ඔබේ දොඩමළුව හමුවේ
අකීකරුයි දඟ කරයි
ගැබේ පා පහරවල් වැද
හදවතේ ස්පන්දනය ඉහලයි
දෙතොල් කිති කවයි පවසන්න බල කරයි
ලංවෙත්ම ඔබෙ සුසුම්
සැලෙන සිතුවිලි නැගී දළුලයි
මලක් සේ ඇය පිපී හිනැහෙයි
මගේ සිතුවිලි පෙමින් ගොළුවෙයි
එවිටයි දැනෙන්නේ වැඩියෙන්ම
අප්‍රකාශිත ප්‍රේමයක විලිරුදාව
තිතක් සේ ඈ ඈතටම නොපෙනී යනකොට
සියුම් සැත් තුඩකින් හදවතම පාරයි
ක්ලිනික් ගොස් උගත් පෙම් ශිල්ප
ඉඟියෙන්, බසින්, කවියෙන්
පෙන්වන සැටි ආලය
කිසිවකින් ඵල නැත
ඔබ අබියස
ලඳරුවෙක් මෙන් ඔබ හිනාවෙයි
ශිල්ප පැරදෙයි
රිදුම් දෙන ඒ නොකී ආලය
තවම හිත තුල සෙමෙන් දළුලයි
~සකුන්ත හිරිමුතුගොඩ~
"ඔබට මා මරන්න ඕන නම්
උල් පිහිය හෝ තුවක්කුව රැගෙන
උත්සාහ නොකරන්න
පුච්චන්න මගෙ කවියෙන් සෑදුනු
මගේ පොත් එකින් එක"
කමලා දාස්
ලියූ කවි මුගුරු පහර වැද
වියරුවෙන්
හිස් කබල එල්ල කොට
එක් පහරකින් සුනු විසුනු වනු පිනිස
එවන වෙඩි උන්ඩයකින්
මරා දමනු නොහේ
කවිකාරයා ජීවත් වන්නේ
කවි තුලය
මියගියද ඒවා පවතිනු ඇත
ඔබට වාරන නියෝගයකින්
ගිනි පෙනැල්ලකින් සහ මකනයකින්
ඒවා වැනසිය හැක
එහෙත්,
ඒවා ශේෂව ඇත්තේ
කවි හිත් තුලය
-සකුන්ත හිරිමුතුගොඩ~
කාලයේ ආලෝක ධාරා වැදී
පෙදෙසක්ම දුර්වර්න ව ගිය
පින්තූරයකි, සාලයේ කොනක
අතීතය අමතකව යාමට නොඳී
සිහි කරන
කලිසම් කොටයක් අන්දවා
මුහුනේ පුයර නහවා
ලස්සනට හැඩට
පීරා කොන්ඩය
මදක් ඉහලින් පසුපසට,
මග දිගට සෙල්ලම් බඩු
ඉල්ලා කල කරදර දරාගෙන
ස්ටූඩියෝවට කැන්දා ගොස්
යලිත් නොඑන සේ
නිසල ඡායාරුවකට රාමු කල
කෙලිලොල් ළඳරු විය
හැරී බලමි
පින්තාරුව තුල හිඳින අමුතුම ජීවියා දෙස
පුංචි අත් පා පුංචි සිරුර
පමනක් නොව
කුඩා හිතකි
එය තුල
රූල් නැති හිස් පොතක් වගේ
පුංචි මගේ හිත පතුලේ
යන එන මග තොට හමුවන
දේ අසා දැන කුහුලෙන්
නොදැන එහි හොඳ නොහොඳ
සියළුම දෑ එකතු කල
මා යැයි කිව හැකි
ලකුනු කිහිපයක්
එහි ඉතිරිව ඇතිමුත්
බොහෝ දෑ වෙනස් වී ඇත
සිරුරෙන් පමනක් නොව
සිතුම් පැතුම් ද
~සකුන්ත හිරිමුතුගොඩ~~
දිගු කලකට පසුව හමුවිය
අල්මාරියේ ලාච්චුවක සුරැකිව
බහා තිබූ
ඔබට දීමට නොහැකි වූ හසුනක්
සැන්ට් සුවඳ කවා
ලස්සනට පාට පාට
රවුම් අකුරින් ලියූ
රෝස මල් අලවා
හැඩ කල
සිහිවී එ කල
ලියමන
පපුවට තද කොට
ගත් දිගු ආශ්වාසයෙන්
සුපුරුඳු සුවඳක් නැහැයට දැනිනි
පුදුමයකි
කැටය කඩා එදා මිලට ගත්
කුඩා සැන්ට් කුප්පියේ සුවඳ
අදටත් ලියුමෙහි
සුරැකිව....
නෑ.
ඒ ඔබේ සුවඳමයි
~සකුන්ත හිරිමුතුගොඩ~
පුංචිම පුංචි
අත්තටු දෙකක්
ඇති පුංචිම
කුරුල්ලෝ
ලොකුම ලොකු
අහස පුරා පියඹති
ලොකු තටු සහිත
කුරුල්ලන්ටත් වඩා
~සකුන්ත හිරිමුතුගොඩ~
යුග දිවියට පා නගන සවසක
සුදු සේල, වෛවර්න සිල්ක් සාරි පිරුනු දවසක
තරු බලා නැකැත් කරුවන් ලියා දුන් වරුවක
මවු පසින් පිය පසින් නෑසියන් අතරේ ගිවිසන
අත්සනින් දිවුරූ පොරොන්දු පත්‍රයක් පමනිද විවාහය
අප දෙදෙන එක් අයෙක් නොවේ මින් මතුවටත්
දෙදෙන දෙදෙනෙක්ම වේ සිතැඟි පෑහෙන මුත් වෙනස්
තව බොහෝ දුර යා යුතුයි පමනි මෙය ඇරඹුමක්
මේ වගෙම එකට පා නගා යමු තව බෝ දුරක්
රතු පලස් මත මල් ඉසින ලද මාවතක් නොවේ ජීවිතය
කළු කුහර ඇත හැම තැන සිහින මුලුමනින් ගිල දමන
කටුක දිගු දිවි මගේ නැගෙන දුක් ගිනි බෙදාගෙන
අත් වැල් බැඳන් ජීවිතය සොයා යමු අප දෙදෙන
~සකුන්ත හිරිමුතුගොඩ~
අතීතය නොස්ටැල්ජියාවක් නොවනු පිනිස
නොවී ඉරබටු තරුවක්
නිශ්ක්‍රීය රාත්‍රියකට පෙර
නැගී අමතකව යන
පහන් තරුවක් වෙන්න
ජීවිතයට මග පෙන්වන
සකුන්ත හිරිමුතුගොඩ
{*පුවතක් - පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා කිරීමට අවසර දෙයි.
ළමයින් රැකියා කිරීමේ පරිසරයට හුරු නොවීම නිසා ගැටලු රැසක් මතු වී ඇත}
වැඩිහිටි මල් යාය මිරිකා
පෙලා හප කර
ඉස්මුරුත්තාව හැදෙන තෙක්
කහවනු පැස තරකරගත්
විස බඹරු,
ලෝකය ගැන ඉගෙන
හෙට දිනය සරසවන්නට
හෙමින් පිබිදෙන
මල් කැකුළු තැලීමට සැරසෙති
තවත් රොන් මඩි
පුරවගන්නට
~සකුන්ත හිරිමුතුගොඩ~
ප්‍රවේසමෙන් පා තැබිය යුතුයි
පහසුවෙන් උදුරා ඉවත ලා නොහැකි
මතක බිම් බෝම්බ
එක් පියවරකින් පුපුරා යා හැකිය
සැහැල්ලු අවි පහර වැදී
නිවෙස් වල හදවත්
සිදුරු වී ගොසිනි
බර අවි මගින්
සෙවන දුන් වහලවල්
ඔහේ විසිවී ඇත
අතැර දැමූ ගොඩනැගිලි
වල් වැදී ඇතිමුත්
පැහැදිලිව පෙනේ
ඉතිරි වී ඇත්තේ
කඳුළු පිරි මතක
තුරුල් කරගත්
දැදුරු වී ගිය ජීවිත පමනි
බූට්, බැටන් පොළු
දිගු කලක සිට පාරන
ලේ වැගිරෙන කැලැල්
කිඹුල් කඳුළු වලට සුවපත් කල නොහැක
~සකුන්ත හිරිමුතුගොඩ~
උතුරුකරයට ගිය ගමනේ මතක සටහන්
https://www.facebook.com/100005431928182/videos/629711322159627/
දෙපසින්ම
දෙපසටම
අපරීක්ෂාකාරීව
දමා ගසන ලද
හී තුඩු ඇනී
වේදනාව ගෙනේ
ගතට නොව සිතට
~සකුන්ත හිරිමුතුගොඩ~
මලක් නම් ඔබ
සිනාසිය යුතුය
ගසක උඩම අත්තක
ලොවටම සුවඳ සදමින්
පල වැල උපදවමින්
නෙලාගත් දෑතක
පුදට තැබූ මල් වට්ටියක
කාගේ හෝ කෙස් රොදක
නිකරුනේ පර නොවී
~සකුන්ත හිරිමුතුගොඩ~
ඔබ ගැන
ශේෂ වූ මතකයන්
සිහියට නගමි
සමහර දෑ හරි හැටිම
මතකයේ නැති වුනත්
එකිනෙකට අමුනමි
හද පතුලටම
කිඳා බැසගත් තැන්
හොදටෝම මතකය
අමතක වී ඇතැයි
සිතාගත් බොහෝ ස්පර්ශයන්
රෝම කූපයේ සිටම සිහිවෙයි
අඳුරු කාමරයේ
මතක අමුනා ගොතන ලද
සෙලෝලයිඩ් පටයේ ඔබ මොබ සරමි
කටුක තැන් හමුවේදී
අත ඇති සීතල බීර බෝතලයම
එක හුස්මට හිස් කල හැකිය
රසමුසු තැන් වලදී
බෝතලයේ සීතලට බැඳෙන තුශාර මත
රවුමට සිනා ඉරක් ඇඳිය හැක
අතිශයින් ත්‍රීව්‍ර අවස්ථාවල
හුස්මත් සිරකරන වේගයෙන්
ඉහල නැග
හෙමෙන් පහලට බසින
සුසුම් පොදියකි
බිත්ති ඔරලෝසුවේ
කටු ආපසට කැරකෙන සෙයකි
ටික් ටික් ටික්.
~සකුන්ත හිරිමුතුගොඩ~
*"අඳුරු යුග තුල
ගැයුම් වේවිද?
ඔව්,
ඒ අඳුරු යුග
ගැන ගී වෙයි."
-බර්‍ර්ටෝල් බ්‍රෙෂ්ට්-
අඳුරු යුග තුල දැඩි වෙවී
රස පද වැල් සමග මුසු කෙරී
පෑන් තුඩගින් ලිහි ලිහී
කොහොම ගෙතුනාද ඒ කවී
~සකුන්ත හිරිමුතුගොඩ~
මෙ නුවර දනන්ගේ සිත් තුල උපදින තැවෙනා කුසගින්නෙන්
එ නුවර දනන් දල්වති එලි වැට නැගෙනා ගිනි දැල්ලෙන්
~සකුන්‍ත හිරිමුතුගොඩ~
ඔබේ ඇසුරෙන්
මොකක්දෝ හැඟීමක් දැනුනට
ඔබේ යහළුවන්
අපි දෙන්නගේ නම් කියද්දි
නිමක් නැති ඔබේ
විමසුම් මැද
"හා" කිව්වේ
කරදරෙන් බේරෙන්න බැරි කමට
පෙර මෙන්
සොයා බැලීම්
පනිවිඩ
නැති වුනත්
සිත තැවුලෙන් පිරෙන විට
එන දුරකථන ඇමතුමේ
සිත නිවන වදන් වල
තිබුනා ලෙංගතුකමක්
අමතක වී උපන් දිනය
කලබලෙන් කොහෙන් හෝ
හොයාගෙන එන තෑග්ගෙත්
සැඟවී තිබුනා සෙනෙහස
සැන්දෑ වෙලාවක
උයනකදී හෝ වෙරලක
ආදරෙන් හිස පිරිමදිද්දී
දැනුනා ඔබෙන් ආදරය
දැන් දැන් තනිව ඉන්නා විට
දහස් දෙනා මැද සිටිනා අතරේ
ඈතින් හමා එන හුලඟෙත්
ඔබේ සුවඳ සොයනවා මම
ඉතින්
දන්නවද
මම ඔබට ඇත්තටම ආදරය කරන්න පටන් ගෙනද මන්දා.....
~සකුන්ත හිරිමුතුගොඩ~