Friday, December 29, 2023

ඔබටම ලියන කවියෙන් මතු නිමක් කොද


මිහි    මත  පිපුන  එ රුවින්   යුතු    මලක් කොඳ
ලොව නෙත රැඳුන මිහිරෙන්   සතු    රුවක් වෙද
මගෙ  හිත  නිවන  හැ ඟුමෙන්  ගෙතු   තැනක්   සඳ
ඔබ     මත ලියන කවියෙන්   මතු    නිමක් කොද


      මුහුලස   හැඟුම් ගඟුලෙන්   පැන  සරනු    එන
   සිසිලස පැතුම් පොදියෙන්  සැන   බිඳුනු   තැන
එ    දවස සිතුම්   නුවනින්   මැන කරුනු ගෙන
නිසි ලෙස නැවුම්    සුවඳින් ගෙන වඩිනු     මැන


Thursday, December 21, 2023

නැවත මුන නොගැසෙන ඔබටයි


ගු  ව  න  ත  ඇ සෙ න   මිහිරෙන් යුතු    කුරුවි සර
ස  ව  න  ත  මැ වෙ න   ඔබෙ කට හඬ  එකළු කර
නු  ව  න  ත  ගැ ටෙ න   යලි නොඑනා `` ඔබේ  වර       
ල  ව  න  ත  නැ ගෙ න   මද සුසුමකි     විඩා  බර

හ මු  වු ව මෙයින්  මතු දිනයක අහඹු ලෙද
මි මු  නු ව තෙපුල්  සිහි කර එදවස  බොලඳ
ප ල  මු ව  නැගුන  පිසදා වට  කඳුළු පොද
ග ය  නු ව හදෙහි වෙන හඬවා මතක    පද

                                                 

Friday, October 6, 2023

වැස්ස

  චුරු චුරුව ඇදහැලෙයි උදේ සිට යුහුසුලුව

කඩිමුඩිව වැහි කබා එලි බසියි කඩිසරව


Monday, August 28, 2023

අහස් ගැබ තරනය


ඔබ බැලුවෙ දුර ඇත
තුරු මුදුන් කඳු මුදුන් හිස
දුර ඈත දිලෙන තරුවල් දිහා
ගව් ගනන් දුර අහසට එල්ලය බලාගෙන
ඔබ කිව්වෙ හඳට ගලක් ගැහුවොත්
පොල් ගසක හෝ රැඳෙන වග
මම බැලුවෙ මෑත දිහා
පඩියෙන් පඩිය නගින හැටි
පාමුලෙ සිට කඳු මුදුන් දෙසට
මාන බලමින් අඩියෙන් අඩිය
සැරසෙමින් පියවරින් පියවර
ඉදිරියට තබන්නට
ඉතින් අපි අතර නිරතුරුව
මතුවුනා නොගැලපුම්
නොරිස්සුම්
දුරස් කර දෙදෙන
පුදුමයකි නොහැඟුනු හැටි
අප හට
දෙදෙනාම වෙර දැරුවෙ
අහස් ගැබ කරා
ලඟා වෙන්නට
මුහුකුරා යන විටයි
වැටහුනේ
අහස් ගැබ තරනයට
ඈත එල්ලය ලබා ගෙන
පියවරින් පියවර මෑත තැබිය යුතු බව

කෙලෙස පවරනුද ලඳරුවකුගේ ඉරනම


ගසක අතු අග මල් පිපෙන මුත්

එයට හැකිවෙද උපදවන්නට

තනිවම කුසුම්

අවට පරිසරයෙන් කිසිම

උදව්වක් නොමැතිව,

හිතු මනාපෙට

ඊට පුබුදුවනු නොහැකිය

පොහොට්ටු පවා

හොඳින් වැඩුනු


කෙලෙස පවරනුද 

ලඳරුවෙකුගේ ඉරනම 

විසඳීමේ අයිතිය 

සින්නක්කරව අයෙකුට 

හෝ එක් පසෙකට 

ඔබ අයිති මේ විසල් ලොවටය

 නුඹ එහි කොටසකි

Tuesday, August 15, 2023

සෙවීම

ලියන කවි පද අතර

ලිහා ඇති සන්ධි පද

උපමා රූපක දිගැර

මල්ලකට අත දා

පැනි රස සොයන 

පුංචි කෙල්ලක මෙන්

සොයනවා ඇති ඔ බ ව ම


නිශ්ඵලය නොකියන මුත්

නොවෙහෙසෙන්න එලෙසට

නොයෙක් පාට තැවරූ

එකිනෙකින් වෙන් කල නොහැකි

දිය සායම් සිතුවමකි 

කවි පද


ඒ තුල 

සැඟව ඇති ජීවිතය 

යලි ලිහා බලනු මැන

Saturday, July 22, 2023

නොහැඟුනත් හඟිමි


දිවිය එලි පෙහෙලි කල
ඔබ නැති හිදැස
අරක් ගත හැක්කේ
මොනවාටද

පා ලු ව
ත නි ක ම
කා න් සි ය ට

මිස

යොදුන් ගනනක් ඈත සිට
එවූ පනිවිඩයක
ඔබ ලියා තිබුනත්
මිනිසුන් ඇසුරෙහිදිවත්
පිපෙන මල්
හිරු සඳ තාරකා අතර
හැඟෙන්නේ නැහැ
මට කිසි විට ඔබව,
මතකයට නැගෙනවා පමනි

ඒ කිසිවකට
කවදා හෝ
ඔබේ තැන
ගත හැකිද

ඉතින්
නොහැඟුනත් හඟිමි
ඔබව ඒ අතර

Sunday, July 16, 2023

අරුමය

 මට මාව නැති උනු රුදු දවස් අග

නුඹම රැඳි ඉන් බෝ හවස් වල

සිරස දිවු මුදු ඇඟිලි තුඩු රඟ

කියා දුනි ජීවිතේ අරුමය


පලා යන්නට නොදී  එකලට

ජීවිතය වෙත මා තදින් බැඳ

දහස් රැහැනින් වෙලන අරුමය

ප්‍රේමයේ අරුමයම නොම වෙද


 

Monday, June 12, 2023

එක මගක

 එදායින් පසුව

කිසිම දවසක හමු නොවූ

කනින් කොනින් වැකුනු

වග තුගින් පමනක්

තතු දත්

ඇයව දුටුවෙමි

 බස් රියෙහි

 

කුමක් විනි දැයි ඈ හට

බෝ කලක් සිතෙහි

හොල්මන් කල

කුහුල

එකෙනෙහිම අවදි විය

 

ඈ ගත පුසුඹ

අවදි කරවයි මතක

ඔසවා අතීතයේ වේල් පට

“තවමත් ඒ පර්ෆියුම්

බ්‍රෑන්ඩ් එකමද?”

 

හුරු පුරුදු

ලපටි කෙල්ලගේ

ලකුනු

කෙමෙන් මැකී ගොස්

මුහුකුරා ගිය මුහුනකින්

යුතුය ඈ දැන්

 

අවසාන හමුවේදි

ඉවසා බැරිම තැන

ගසා දමා මා සුරත

යන බව ඉලක්කය වෙත

කී වදන් නැගෙයි සවනට

 

වෛවර්න සාරිය

බදා

ඈ කරෙහි එල්ලෙන

කලු පාට බෑගයෙහි

පොත් මල්ල

තතු කියයි ඒ ගැන


දෙමගකට ගිය මා ඔබ

එක අතට යනු පෙනේ

ජීවිතය සොයාගෙන


මදක් ඉස්සී එබී බලා

වම් අතේ වෙදැඟිල්ල

නෙතු අගින් පිරික්සන විට

යාබද අසුනෙහි යුවතිය

කොනිත්තයි මගෙ අත


~සකුන්ත හිරිමුතුගොඩ~




Saturday, June 10, 2023

සමීපතාවය?

 මගේ ලොවත්

ඇගේ හිතත්

සමීප යැයි

පෙනුනු නිසා


මගේ දෙ අත් දිගු කෙරුවෙමි 

ඇගේ දෑත හිමිවන ලෙස 

මගෙ දෙ අතට ඔබේ දෙ අත් 

හසුවූ මුත් එදිනෙන් පසු

 

පෙනුනේ එවිටයි අපහට 

මහා පලල් ආගාධය 

අප දෙදෙනා අතර ඇඳුනු,

මගේ සිතට ඔබේ සිතැඟි

සැබැවින් දුර බව

දැනුනෙත් එදිනෙන් පසුවයි


හදෙහි සිතැඟි සඟවාගෙන

වේදනා දුකින් තෙරපුන

ඒ කාලය නිමවේ යැයි

සිතූ නමුදු


එදිනෙන් පසුවය නැගුනේ

බොහෝ ගැටුම් පිරි එ හවස්

පෙමින් පිරුනු අල්ලාප සල්ලාප 

මැද පවා


ලඟ නැති මුත් අප දෙදෙනා

මා දෙනෙතට ඔබේ නයන

බලා එකිනෙකින් එල්ලය

අල්ලාගෙන කන වැල

පිය නැගුවේ එවන් ගැටුම් මැදය

ඔබ මා වෙත 

මා ඔබ වෙත

අපි අපි වෙත


Friday, June 9, 2023

විශාදය

 කලු වලා කැරලි අතරින්

නිල් වලා මේඝ දූතයෝ සමග

කරට කර

බැස යන ඉරෙහි 

රත් පැහැය එබී බලන සැඳෑවක

මට පෙනෙනුයේ

රිදී රේඛාවක සලකුනක්වත් නැති 

කලුම කලු අහසකි.



Wednesday, May 31, 2023

රැඳී ඉනු මැන (සැබෑවටම) ඇය පැමිනෙන තුරු

  

රැඳෙනු මැන මොහොතක්

හදෙහි පිපි රතුමල් පිරිවරාගෙන

පා නගා ඇය එන තුරු,

සුලං මත පාවෙන වරා මලක් සේ

සැහැල්ලුව හද සිතැඟි දරාගෙන

 

කඩි මුඩි නොකොට ඈ

රාත්‍රිය නැගෙන තුරු සිටිනා

කුමුදු මල් මාලතිය මෙන්

ඉවසිල්ලෙන්

පෙර මග බලමින්,


ඇය පමාවුවහොත්

රැඳී ඉන්න

සැනින් පැමිනියහොත්

තවත් මොහොතක්

මදක් නැවතී ඉන්න


ඈ හද කැදල්ල මත රංචු ගැසුනු

සිතුවිලි කුරුල්ලන් හට

ඉඩ හරින්න නිදහසේ ඉගිල යන්නට

නොඉවසිල්ලේ ගල් ගසා බිය නොකොට


සහය වී ඈ සමග

හැඳිනගන්නට යහමින් ඔබ ගැන,

අතීතයෙන් උරුම කොට පැවරූ

දූලි බැඳුනු උපැස් යුවල පිසදා


රැඳී ඉන්න සමීප වන තෙක්

ආගන්තුක හදෙහි සුසුම් පනිවිඩ

කියවන්න කැඩපතක් වන්

ඈ යුග නෙත්

අන් සියල්ලට පෙරම


ඉඩ හරින්න ඇය හට

මුසු කරන්නට

ඈ සිතැඟි ගුවනට රිසිසේ

වයලීනයට ඇරයුම් කරන 

සුමියුරු බටනලාවක් වී 

අමතා


පිලිගන්න ඒ වදන්

ඈ මත නොපටවා

අන් සිතුම් බලයෙන්

එවන් දවසක ඇයම වී

එනතෙක්


*"If she comes soon

wait for her

And if she comes late

wait"

*Roger Waters - Wait for her - https://youtu.be/iSl1kmQMG2E

Friday, May 26, 2023

හැඳිනගත්තෙමි මම මාව - සොයා යද්දී ඔබ ගැන

 කතා බස් මැද

කරකවා

සියුම් දල සීරු මාරු

අන්වීක්ෂ ඇසෙන් 

පිරික්සද්දී අපි අපිව


ජීවිතේ කදාව මත්

කාච නෙත් යොමා

හාත්පස 

සැරි සරද්දී අප දෙදෙන

ඔබ මාව, මා ඔබව 

සොයා යද්දී දිවි මග


ගැටෙද්දී අප සිතැඟි

එකිනෙක පෑහෙද්දි වාගෙම


හැඳිනගත්තෙමි ම මාව

මල් විසුල කෙම් බිම් මෙන්ම

තුඩු ඇනී රිදවන කටු පඳුරු

මා තුල පිපි

ඇවිද යන කල - දුර ගමන් මග


සොයමින් අපි අපිව

යන ගමන් මග අතර

පියවි ඇසකට නොපෙනෙන

සියුම් තැන් විනිවිදිමින්


හැඳිනගත්තෙමි මම මාව

සොයා යද්දී ඔබ ගැන

Monday, May 22, 2023

බලෙන් උදුරා ඉවත ලූ තුරුපත්

කිසිදු “එලයක්” නොවේ යැයි

බලෙන් උදුරා ඉවත ලූ පසුත්

කෙඩෑරී වී ගිය ගස කියයි


දුර්වර්න වියපත් පත්‍ර හැර

කියා දෙන්නෝ කවරහුද

ගසක් නම් වැඩෙන සැටි

දරා බාධක නොමියැදී

නොසැලී හිරු එලිය වෙත

නැගෙනා’යුරු

ලාබාල තුරු පත් වලට

ඇද වැටුනු පසුවත්

ගත සවිය දියකර

සියල්ල උන් වෙතම දෙවමින්

Sunday, May 21, 2023

පොත් පිලිස්සීම

*නාසින් පොත් පිලිස්සීමෙන් අනූ වසරක් 

අන කෙරිනි

පුලුස්සා දමන ලෙස පොත්

ඔව්, ඉනුත් වටිනාම දෑ

ගිනි පෙනැල්ලෙන් 

මකා දැමිය යුතු බව සදහටම


අඳුර රජයන යුගයකට

නිවාලිය යුතු බැවින්

මිනිස් වග

ලෝකයට විහිදු

හැම පහන් සිලු

වසන්තයේ අග


කිලිටි වේ යැයි බියෙන්
කහ මල් අතුල
බරැති වටිනා උඩු සළුව
උනා දමා හනිකට
තුරු කුමරි මාරුවේ
පලා පැහැ
හුරු පුරුදු ඇඳුමට 

උත්ථානයෙන් ඉක්බිති

අලු පිසදා නැගිට විත්

බොහෝ කලකට පසු,

පැරනි මතකය

රිදුම් දෙන

පාළු සවසක

 

විටින් විට

අතු ඉති යොමා

දොරගුලු හැර එබී

කොනිත්තවන

දුරාතීතයේ

මතක සොහොන් ගැබෙහි

සිත පතුලටම ඇදුනු මුල්

සොයා ඇදුනෙමි

 

සොහොන් ගල් මත

අතුල්ලා මදින ලද

පොරොවක් අතැතිව

සියල්ලම

සුනු විසුනු කරන

වියරුවෙන්

 

යොදා සියළු වැර

කිහිප පහරක්

එල්ල කෙරුවත්

බලා හරි එල්ලය

 

කිසි උවදුරක් නොවී එයට

හැම පහරකින් පාහේ

මා දෙඅත් පමනක්

තුවාල වී, රිදුම් වැඩිවේ

 

වහා ආවෙමි හැරී ආපසු

මනස් ලෝකයෙන්

පෙරටත් වඩා

දැදුරු වූ සිතකින්

 

 *******

ඉනුත් බෝ කලක් ගතවී

මතක සොහොන් ගැබ්

සමග ගනුදෙනු කරමින්

ජීවිතේ ගව් ගනන්

දුර ගෙවා ගොස් සවසක

 

පෙනේ මට

ජරපත්ව ගිය

සොහොන් ගැබ

පිපුනු සුදු මල් අතර

නටඹුන්ව ගිය

යමක් පමනක් ඉතිරි ව.

 

 සකුන්ත හිරිමුතුගොඩ

 

Friday, April 14, 2023

නලඟන

ලැමෙහි ඇ​විලුනු

ලය ගින්දරින්

නිවනවා ඈ

නුරා ගිනි


       ~සකුන්ත හිරිමුතුගොඩ~


අමතක නොවේ

අමතක නොවේ මට

රත් කොපුල

මත් දෙතොල

මත අපේ මුදු ගැටුම

අතර මග යා වුනු

දිගු ඔබේ

 

නිල් න ය න

ලූ 

       බැ  ල්  ම


                ~සකුන්ත හිරිමුතුගොඩ~


Friday, March 31, 2023

මහළු පෙම්වතියගෙන් පැනයක් - ඇයි මට තවමත් ආදරේ

 


මතකයිද

සඳ පෑයූ නිශාවක

තියා නිකට උරහිසට

හීන් නිය තඩු දික්කර

රෑ අහස දිහාවට

තරුමල් වල හැඩ

හඳට පෙම් කරන බව

කියා දොඩමළු වෙද්දි ඔබ

“හාවාට කැමති වුනත්

ලොකුම ලොකු ආවාට පිරුනු

පින්තූර වලට ආස නෑ”

නොරුස්නා බසක් කියූ විට මම


රිදෙන්නට කොනිත්තා

කන් පෙත්ත

හාවාටත්, එය නෙලා ඇති

අවලස්සන සඳටත් දෙකටම

පෙම් බැඳීම

ආලය බ​ව

මිමුනුව හැටි


Thursday, March 9, 2023

වෙන්වීම


ලිහී බැඳි අතැඟිලි

පා නගද්දී ඉවතට

නැගූ ඒ සිනා රැලි

කෙලි ලොල් කවටකම්

‍රැඳි ඔබේ මතක වත

යවා බඳවට දෙඅත්

හනිකට තුරුලු වෙයි


                   ~සකුන්ත හිරිමුතුගොඩ~


Tuesday, February 28, 2023

මහළු තරුවක් මග කියයි

 

ඈත ගිරිකුල හිසින් මතුවන මහළු තරුවක් අත          වනයි

ජීවිතේ ජය ඉම නගින්නට සැලෙන නෙතඟින් ගතු    කියයි

අතරමගදී පය සැලෙන විට දැවී දැවී එලි               විහිදුවයි 

කෙසේ හෝ ටැඹ පසු කරන්නට ඉත සිතින් හිඳ වෙර දෙවයි


හත්දින්නතේ නොපෙනෙන තරුව වී එලිය සැනෙකින් මැකෙයි

දිවි මගේ ලියු සිහින පිටු, වැකි අළුව ගිය සේ සිත             හඬයි

අහස් ගැබ මැද පුරුදු එලියක් කොනිත්තා මා             ඇහැරවයි

නිවී ගිය නැගි එලි පහන් සිල, තරු කැලක් වී යලි           දිලෙයි


~සකුන්ත හිරිමුතුගොඩ~


Sunday, February 12, 2023

වැහි කඳුලු

ඉසිඹුවක් නොමැති තැන දරා කලු වලා  ගැබ 

නෙත් සලා මුදා හල බරැති වැහි කඳුලු  පොද

 කෙහෙරැල්ලක් වත් රඳනු බැරි මුදු    කොපුල

අත් හරියි මැකී යනු පිනිස වැද පොලෝ   තල


                                  සකුන්ත හිරිමුතුගොඩ