Wednesday, May 31, 2023

රැඳී ඉනු මැන (සැබෑවටම) ඇය පැමිනෙන තුරු

  

රැඳෙනු මැන මොහොතක්

හදෙහි පිපි රතුමල් පිරිවරාගෙන

පා නගා ඇය එන තුරු,

සුලං මත පාවෙන වරා මලක් සේ

සැහැල්ලුව හද සිතැඟි දරාගෙන

 

කඩි මුඩි නොකොට ඈ

රාත්‍රිය නැගෙන තුරු සිටිනා

කුමුදු මල් මාලතිය මෙන්

ඉවසිල්ලෙන්

පෙර මග බලමින්,


ඇය පමාවුවහොත්

රැඳී ඉන්න

සැනින් පැමිනියහොත්

තවත් මොහොතක්

මදක් නැවතී ඉන්න


ඈ හද කැදල්ල මත රංචු ගැසුනු

සිතුවිලි කුරුල්ලන් හට

ඉඩ හරින්න නිදහසේ ඉගිල යන්නට

නොඉවසිල්ලේ ගල් ගසා බිය නොකොට


සහය වී ඈ සමග

හැඳිනගන්නට යහමින් ඔබ ගැන,

අතීතයෙන් උරුම කොට පැවරූ

දූලි බැඳුනු උපැස් යුවල පිසදා


රැඳී ඉන්න සමීප වන තෙක්

ආගන්තුක හදෙහි සුසුම් පනිවිඩ

කියවන්න කැඩපතක් වන්

ඈ යුග නෙත්

අන් සියල්ලට පෙරම


ඉඩ හරින්න ඇය හට

මුසු කරන්නට

ඈ සිතැඟි ගුවනට රිසිසේ

වයලීනයට ඇරයුම් කරන 

සුමියුරු බටනලාවක් වී 

අමතා


පිලිගන්න ඒ වදන්

ඈ මත නොපටවා

අන් සිතුම් බලයෙන්

එවන් දවසක ඇයම වී

එනතෙක්


*"If she comes soon

wait for her

And if she comes late

wait"

*Roger Waters - Wait for her - https://youtu.be/iSl1kmQMG2E

Friday, May 26, 2023

හැඳිනගත්තෙමි මම මාව - සොයා යද්දී ඔබ ගැන

 කතා බස් මැද

කරකවා

සියුම් දල සීරු මාරු

අන්වීක්ෂ ඇසෙන් 

පිරික්සද්දී අපි අපිව


ජීවිතේ කදාව මත්

කාච නෙත් යොමා

හාත්පස 

සැරි සරද්දී අප දෙදෙන

ඔබ මාව, මා ඔබව 

සොයා යද්දී දිවි මග


ගැටෙද්දී අප සිතැඟි

එකිනෙක පෑහෙද්දි වාගෙම


හැඳිනගත්තෙමි ම මාව

මල් විසුල කෙම් බිම් මෙන්ම

තුඩු ඇනී රිදවන කටු පඳුරු

මා තුල පිපි

ඇවිද යන කල - දුර ගමන් මග


සොයමින් අපි අපිව

යන ගමන් මග අතර

පියවි ඇසකට නොපෙනෙන

සියුම් තැන් විනිවිදිමින්


හැඳිනගත්තෙමි මම මාව

සොයා යද්දී ඔබ ගැන

Monday, May 22, 2023

බලෙන් උදුරා ඉවත ලූ තුරුපත්

කිසිදු “එලයක්” නොවේ යැයි

බලෙන් උදුරා ඉවත ලූ පසුත්

කෙඩෑරී වී ගිය ගස කියයි


දුර්වර්න වියපත් පත්‍ර හැර

කියා දෙන්නෝ කවරහුද

ගසක් නම් වැඩෙන සැටි

දරා බාධක නොමියැදී

නොසැලී හිරු එලිය වෙත

නැගෙනා’යුරු

ලාබාල තුරු පත් වලට

ඇද වැටුනු පසුවත්

ගත සවිය දියකර

සියල්ල උන් වෙතම දෙවමින්

Sunday, May 21, 2023

පොත් පිලිස්සීම

*නාසින් පොත් පිලිස්සීමෙන් අනූ වසරක් 

අන කෙරිනි

පුලුස්සා දමන ලෙස පොත්

ඔව්, ඉනුත් වටිනාම දෑ

ගිනි පෙනැල්ලෙන් 

මකා දැමිය යුතු බව සදහටම


අඳුර රජයන යුගයකට

නිවාලිය යුතු බැවින්

මිනිස් වග

ලෝකයට විහිදු

හැම පහන් සිලු

වසන්තයේ අග


කිලිටි වේ යැයි බියෙන්
කහ මල් අතුල
බරැති වටිනා උඩු සළුව
උනා දමා හනිකට
තුරු කුමරි මාරුවේ
පලා පැහැ
හුරු පුරුදු ඇඳුමට 

උත්ථානයෙන් ඉක්බිති

අලු පිසදා නැගිට විත්

බොහෝ කලකට පසු,

පැරනි මතකය

රිදුම් දෙන

පාළු සවසක

 

විටින් විට

අතු ඉති යොමා

දොරගුලු හැර එබී

කොනිත්තවන

දුරාතීතයේ

මතක සොහොන් ගැබෙහි

සිත පතුලටම ඇදුනු මුල්

සොයා ඇදුනෙමි

 

සොහොන් ගල් මත

අතුල්ලා මදින ලද

පොරොවක් අතැතිව

සියල්ලම

සුනු විසුනු කරන

වියරුවෙන්

 

යොදා සියළු වැර

කිහිප පහරක්

එල්ල කෙරුවත්

බලා හරි එල්ලය

 

කිසි උවදුරක් නොවී එයට

හැම පහරකින් පාහේ

මා දෙඅත් පමනක්

තුවාල වී, රිදුම් වැඩිවේ

 

වහා ආවෙමි හැරී ආපසු

මනස් ලෝකයෙන්

පෙරටත් වඩා

දැදුරු වූ සිතකින්

 

 *******

ඉනුත් බෝ කලක් ගතවී

මතක සොහොන් ගැබ්

සමග ගනුදෙනු කරමින්

ජීවිතේ ගව් ගනන්

දුර ගෙවා ගොස් සවසක

 

පෙනේ මට

ජරපත්ව ගිය

සොහොන් ගැබ

පිපුනු සුදු මල් අතර

නටඹුන්ව ගිය

යමක් පමනක් ඉතිරි ව.

 

 සකුන්ත හිරිමුතුගොඩ