ආදරය වරදක්ද තනිවෙලා සිටින විට
මට හැඟෙයි සිඹින කල අතීතයෙ මතක පොත
පාසලේ නිල ඇඳුමෙ රැඳුනු සුවඳක් වෙත
සිත දුවයි යොවුන් වියෙ සුන්දරම කාලයට
පොතේ පිටු පුරා ලියු පෙම් සැමරුම් අතර
වියළුනු කඳුලු බිඳු ඇත රටා මව මව
මලක් සේ හිනැහී පරවුනත් කුළුඳුල් පෙම
ප්‍රේමයේ සුවඳ පොද තවම ඉතිරිය සිත ලඟ
මව්පියන්ගෙන් පෙමට වරම් ලබනට බැරුව
ඔබ එදා නොකියාම ගියත් මා තනිකර
පැරදුනේ අප දෙදෙන නොවේ එදවස වෙන්ව
උතුම් වූ ප්‍රේමයයි ගිලිහුනේ පරාදව
වෙන් වුනු දා පටන් කඳුලු ගංතෙර වැතිර
සිනාවක් මුවගට නැගුනු කාලයක් අමතකව
අතීතයෙ ප්‍රේමයේ නටඹුන් වල සිරව
විඳින්නෙමි දඬුවම් පෙම් කල වරදට
කැකුළු සිත් සෙනෙහසින් එකට එක්කොට තබන
ආදරය වරදක් ය සිතන්නේ කෙලෙසද
වරදකැයි ආදරය පෙම්වතුන් වෙන් කෙරුම
එය නොවෙද වරද විඳිය යුතු දඩුවම
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment