නිසඳැස්

පුංචි සිත්තරාගේ හැන්දෑව

හැන්දෑව ලං වෙනකොට ඉර සිත්තරෙක්

දිය සායම් විසික් කරනවා අහසට

එක තැනක් නිල් පාටින්

කහ පාටින් - රතු පාටින් 

ඉර ගාවම හරිය තැඹිලි පාටින්


වලාකුළුත් හිටි හැටියෙ

ඉල්ලගෙන බිංදුවක් දෙකක්

තවරගන්නවා හැඩ වෙන්න

 

අන්තිම හරිය විසික් කරනවා මුහුදට

සේලයක් වගේ 

තැඹිලි පැහැ ගැන්වෙන්න ඡායාව


වැස්ස දාකට එහෙම 

සායම් පෙට්ටිය

අඳුරු වලාකුලු අස්සෙ

හංගගන්නවා ඉර




කොච්චර පරිස්සම් කෙරුවත්

සමහරක් වෙලාවට - වැහි බිංඳු වැටිලා

සායම් හේදිලා වෑහෙනවා

වලාකුලු අතරින් බේරිලා යන්නම

ඒත් ඊලඟ දවසෙත් හැන්දෑව ලංවෙනකොට

අඳින්න පටන් ගන්නවා

චිත්‍රය


තාත්තේ,

හැම මාසෙම අන්තිමට එන

පඩි දවස් කීපයක් එකතු කර 

ගෙනත් දෙන

කොච්චර පරිස්සමින් ඇන්දත්

ඉක්මනින් හිස් වෙන

පාට සායම් පෙට්ටිය වෙනුවට


ගෙනත් දෙන්න බැරිවත්ද

ඉවර වෙන්නැති 

දිය සායම් පෙට්ටියක්

ඉර වගේ

ලෝබ නැතුව පාට කරන්න

චිත්‍ර පොත පිරෙන්නම

 

වියවුල්

 නිල්පාට කමිසය අඳින දාට

හීනියට පීරපු කොන්ඩෙට

ඒ පාටින්ම වූල් බෑන්ඩ් එක

එහෙම ඇඳුම් ගලපවපු ඔබ

අවුල් කලා සිතුවිලි

එකම එක පනිවිඩයකින්


තනි ඉරක් වගේ ගලාගෙන ගිය මම

දැන් ගඟක් වෙලා හොයනවා ඔබවම

අතු ගංඟා දිගේ හැඩපලු වෙවී

කොහේ ගියත් අන්තිමට සමුදුරට

ඔබේ සිත පතුලට


මහ මුහුද වගේ - කොච්චර ගංඟා ගැලුවත්

පිරිලා ඉතිරලා යන්නෑ - ඇය එහෙම්මමයි

තාම ඒ පනිවිඩයෙ ගැට ලිහන මං වියවුලෙන්

ඔබ නිසලව ඉන්නවා දැකල 


පනිවිඩය අහම්බෙන් වැටුනවත් ද?

සැකය රිංගනවා හිත ඇතුලට

මං රිවයින්ඩ් කරනවා අපෙ ඇසුර

කාලය දිගේ ආපස්සට 


අවකලන, අනුකලන, සමීකරන අතර

දොස්තොයොව්ස්කි, ලෝරන්ස්ගෙ 

පොත් අස්සේ හොයනවා මම

එකම එක හෝඩුවාවක් - විසඳගන්න මේ අවුල


මෝසම් වැස්සට තුරු පත් වැටෙන තාලයට

කන් දීගෙන ඉන්නවා මම

හරියට සුසර නොවුනු රේඩියෝවක කබල් සද්දෙට

ඇගේ නාදය යැයි හිතාගෙන

පුදුම පරීක්ෂනය

"වින්දිතයෝ පවා කිසිවෙකුට දඬුවම් කිරීමක් ගැන බලාපොරොත්තු නොවෙති. ඔවුන්ට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි."
“Even the victims do not expect anyone to be punished. They only want to know what happened."Anura Kumara Dissanayaka on war crimes - Associated Press interview

බැටලුවනි කියනු මැන ගම් බිම් වෙතට පැන කුඩා දරුවන් හප කෙරූ වැඩුනු එව්වෝ ඉරා ලූ වෘක සේනාව කවරහුදැයි දැනගත යුතු නොවෙද උන්ට අන දුන් දඩයක්කාරයෝ දඬුවම් ලැබිය යුතු නැද්ද අරහෙ තාමත් කන්ද උඩ හිඳ හඳ පායන දාට උන් ටික ඉව අල්ලලා හුලඟට නුඹලාට ඇසෙන ලෙස හඬ නගා ගුවනට සිහි කරනවා තාමත් ලේ රස බැටලුවනි නුඹලාට අවැසිද පරීක්ෂනයක් දැන ගැනීමට ඒ අඳුරු දිනවල සිදු වූ දෙය පමනක් සමහරක් උන් අන්න අමතක කරනු නොහැකිව සිදු කල ලේ වැකුනු විනාශය ජීවිතය පවා අමතකව හුන් තැනම විස්සෝපයෙන් තාමත් පිපෙන්නේ ලේ හැලුනු බිම් වල මිනීමල් විතරමයි උන්ගෙ අඩි ඉතුරුවුනු තැන් වල එහෙමවත් මුකුත් නෑ එහෙව් දෑ දඬුවම් නොලැබිය යුතු අපරාධ ද සමරා ඒ සමය එකට රතු වයින් හැලි හිඳ ජය පැන් උරා බිවු දඩයක්කාරයෝ කිඹුල් කඳුළු හෙලනවා ඉඳ හිට අතගාලා බැලුවොත් කාගෙ කාගෙත් කෝට් සාක්කුවල කාකි කලිසම් කොනේ සුදු කමිසයේ රැඳුනු කිල්ලෝටවල හුනු තිබෙන බව පෙනෙ​යි තවමත් ලේ පැල්ලම් වේලුන


අඳුරුතර කුටියේ සිට


ප්‍රියාවිය,

ඔබ පෙර දිනක

දල්වාලූ පහන් සිල

සුලං පහරින් 

නොනිමෙනු පිනිස

වසා ලූ කවුලුවේ

පියන් හැර යන්න


පහනෙහි තෙල්  අහවරව

සිලුව නිවී ගොස් ය

හුස්ම හිරකරවන දුමාරය

තිලින කොට


කෑලි කැපිය හැක

කුටියේ අඳුරුතර 

අවකාශය අතර


සඳෙහි ආලෝකයටවත්

කනාමැදිරි එලියක්වත්

රිංගන්න බැරි ලෙස

ප්‍රියාවිය

ඔබ වසා ලූ කවුලු පියන් 

හැර පියා යන්න


පුංචි සිත්තරාගේ හැන්දෑව


හැන්දෑව ලං වෙනකොට ඉර සිත්තරෙක්

දිය සායම් විසික් කරනවා අහසට

එක තැනක් නිල් පාටින්

කහ පාටින් - රතු පාටින් 

ඉර ගාවම හරිය තැඹිලි පාටින්


වලාකුළුත් හිටි හැටියෙ

ඉල්ලගෙන බිංදුවක් දෙකක්

තවරගන්නවා හැඩ වෙන්න

 

අන්තිම හරිය විසික් කරනවා මුහුදට

සේලයක් වගේ 

තැඹිලි පැහැ ගැන්වෙන්න ඡායාව


වැස්ස දාකට එහෙම 

සායම් පෙට්ටිය

අඳුරු වලාකුලු අස්සෙ

හංගගන්නවා ඉර




කොච්චර පරිස්සම් කෙරුවත්

සමහරක් වෙලාවට - වැහි බිංඳු වැටිලා

සායම් හේදිලා වෑහෙනවා

වලාකුලු අතරින් බේරිලා යන්නම

ඒත් ඊලඟ දවසෙත් හැන්දෑව ලංවෙනකොට

අඳින්න පටන් ගන්නවා

චිත්‍රය


තාත්තේ,

හැම මාසෙම අන්තිමට එන

පඩි දවස් කීපයක් එකතු කර 

ගෙනත් දෙන

කොච්චර පරිස්සමින් ඇන්දත්

ඉක්මනින් හිස් වෙන

පාට සායම් පෙට්ටිය වෙනුවට


ගෙනත් දෙන්න බැරිවත්ද

ඉවර වෙන්නැති 

දිය සායම් පෙට්ටියක්

ඉර වගේ

ලෝබ නැතුව පාට කරන්න

චිත්‍ර පොත පිරෙන්නම


වියවුල්


නිල්පාට කමිසය අඳින දාට

හීනියට පීරපු කොන්ඩෙට

ඒ පාටින්ම වූල් බෑන්ඩ් එක

එහෙම ඇඳුම් ගලපවපු ඔබ

අවුල් කලා සිතුවිලි

එකම එක පනිවිඩයකින්


තනි ඉරක් වගේ ගලාගෙන ගිය මම

දැන් ගඟක් වෙලා හොයනවා ඔබවම

අතු ගංඟා දිගේ හැඩපලු වෙවී

කොහේ ගියත් අන්තිමට සමුදුරට

ඔබේ සිත පතුලට


මහ මුහුද වගේ - කොච්චර ගංඟා ගැලුවත්

පිරිලා ඉතිරලා යන්නෑ - ඇය එහෙම්මමයි

තාම ඒ පනිවිඩයෙ ගැට ලිහන මං වියවුලෙන්

ඔබ නිසලව ඉන්නවා දැකල 


පනිවිඩය අහම්බෙන් වැටුනවත් ද?

සැකය රිංගනවා හිත ඇතුලට

මං රිවයින්ඩ් කරනවා අපෙ ඇසුර

කාලය දිගේ ආපස්සට 


අවකලන, අනුකලන, සමීකරන අතර

දොස්තොයොව්ස්කි, ලෝරන්ස්ගෙ 

පොත් අස්සේ හොයනවා මම

එකම එක හෝඩුවාවක් - විසඳගන්න මේ අවුල


මෝසම් වැස්සට තුරු පත් වැටෙන තාලයට

කන් දීගෙන ඉන්නවා මම

හරියට සුසර නොවුනු රේඩියෝවක කබල් සද්දෙට

ඇගේ නාදය යැයි හිතාගෙන


තනියක් දැනුන මොහොතක මා සොයා මෙහි එන්න

ජීවිතයෙ බර තදින් පැටවී
කිරුල ගිලිහී වැටුන දවසක
සිනා ඉරි ඇදවී
දුකම ඇඳෙනා විටෙක
ඔබට තනියක් දැනුන මොහොතක
මා සොයාගෙන එන්න

බොහෝ දුක්බර රාත්‍රීන් මැද
තරු ඇලෙව්වේ අහසෙ තැනින් තැන
කවද හරි දවසක
මා සිටින දෙස ඔබට පෙන්වන්න

මතක් වෙනවත් ඇති සමහරක් විට
මම ඉන්න දිහාව ඉඟියෙන්
ඒ කාලේ විවේකී දවස් වල
ඔබේ දුරකථනයෙන් එවුව පනිවිඩ
මෙහේ සිග්නල් කනුයි
හිඳිනා වන ඉසව් සොයාගෙන
කඳුකර කැලෑ පීරගෙන
මට එව්වේ නොපමාව

ඒ තුරු වදුලු මිතුරන්ගෙන්
මග අසාගෙන මෙහි එන්න

හිතනවත් ඇති සමහරක් විට
නොදී අන් අයට දුක් කන්ද
හැකිවේවී යයි
දුරු කරන්නට තනියෙන්ම
හිස වටා කැරෙකෙන
කලු වලා කුනාටුව

මන් දන්නවා,
ඒ කාලෙදිත්
හැම විටම හිටියෙ
පහන් එලියක් වගේ
ඔබේ ලඟ දුක් අඳුර රැඳුනත්
වටේම එලිය කරගෙන

හැබැයි
එහෙම මිනිස්සුන්ටත් එනවා,
ඒ හුරු පුරුදු විදියට
ගෙවාගන්නත් බැරි දවස්
බරැති හිස වාරු කරන්නට උරහිසක්
ඕනෑ කරන හවසක්

මන් ඉන්නේ
තේ වතු මැද්දේ
පඬු පැහැ ගැන්වුන රෝහලේ
බෙහෙත් අඟහිඟකම් අතර
මේසයක කෙලවර
මිනිසුන්ගෙ දුක් අඳෝනා අසාගෙන

ඔබ එදා මට දුන් හදවතේ තෙතයි
උනුවෙලා ගලන්නේ
මීදුම් වෙලා මේ මිටියාවතේ

කොළඹ දිහා වගේ නෙවෙයි
මෙහෙ එද්දී
නගින කඳු මුදුන් තරමටම
දුෂ්කරයි ජීවිතය

සවන් යොමා අහන හැටි
රිදුම් පිරිමදින එක
හොඳට පුරුදුයි මට

නෑ හිතේ කිසි කහටක්
ඉතින් ඔබ එන්න
නිරාමිස හැඟීමක් පමනයි
දැන් සිත තුල ඉතිරිව
හැකියි මට කන්දෙන්නට
ඔබ හට
කිසිම විනිශ්චයකින් තොරව

නැගෙන දුක් කඳුලු කැට
මා ලයේ වගුරන්න
කාටවත් නොකියුව
නොකිය ඉන්නට හිතුව
අඳුරු අහුමුලු පෙරලන්න
ඉතිරිය මට පවරන්න

හදේ දාහය නිවා
තෙතමනය ගල්වන්න
දුක් අඳුර දුරුවෙන්න

සීත මීදුම් අඳුර මැද්දේ
ජීවිතය උනුහුමින් පිබිදුන දිනෙක
හසරැලි මුව පුරා දල්වගෙන
යලිත් ඔබ ආපිට යන්න

මෙහි එන විට
මතක ඇතුව
හුලං හමන අත බලා
මා එවූ පනිවිඩයෙ
කියූ දෑ බෑගයට රුවාගන්න

"
ඔබ ලඟ තිබෙන අන්තිම ලියුමත් රැගෙන එන්න"

මා ගෙන ආ හසුන්
යලි යලිත් කියවා දැන්

ඉස්පිලිත් පාපිලිත් හොඳට කටපාඩම් 

*මනෝවෛද්‍යවරයෙකුගෙන් සිය පැරනි පෙම්වතියට

 



 වරුසාව


ඈත දවසක
හිරි පොද වැස්සෙ නැටූ හැටි අපි
වතුර වලවල් උඩින් පැන පැන
සතුටින් ඉපිලෙමින්

තාම මතකයි,
මුරුගසං වරුසාව ඇද හැලුනා
ඇගෙ සුරත ගිලිහුනා මා අතින්
අකුනු සර මහ හඬින් ගැටුනා
ලොවම කලඹා බියෙන් සොලවා

මම ගුලි වුනා
තනිපංගලමෙම මඩුව ඇතුලට
මතක හිරිකඩ පොදින්
තෙමුනත් වරින් වර
උනුසුමට හිටියෙ පිලිකන්න මත
බේරී මහ අකුනු පහරින්
ලොකුම ලොකු වැහි බිංඳු වලින්

කිහිප දොහකට පසුව
යලිත් පැමිනුනා පොද වැසි
පෙම්වතුන් පෙම් කෙලින
බලා හිඳියෙමි නිරාමිස හැඟුමින්

අත්ල උඩුකුරුව දිගු කලෙමි
දින දින වහලයෙන් එපිටට
මැන බලා ගැනුමට වැස්සෙහි තරම
ඇස් යොමා සිටියෙමි අහස් කුස
පැමිනේද යලි සැඩ කුනාටුව

සැක හැර බලා දැන
සුපුරුදු දැහැන් බිඳ
හීන් වැහි කෝඩයක
සුවය විඳ ගැනුමට

පය තැබූ විට මිදුලට
සලිත කරමින් සියොලඟ
මහ හඬින්
පෙර දිනක පතිත වුනු
හෙන හඬ පුපුරනු
සිත් ගැබින් මට ඇසුනි


අරුම පෙම් කව

කොහෙදෝ සිට පාව අවුදින්
අහම්බෙන් සිත් පතුලෙ පහලව
අරුමයකි පෙර දිනක නොහැඟුන
පෙම් කවක් පබැඳුනි සෙමෙන්

යසස් කිතු ගොස් වඩා දනගෙන්
ලබා ඔබෙනුත් නිබඳ පැසසුම්
සැලමුතු පෙමින් ඔකඳව පිපි
කවිය පැතිරුනි ඇසිල්ලෙන්

තොරක් නොමැතිව ඇසුනි පැනයක්
කොහින්දැයි ඔබ ලැබූයේ ඇසුරුකම්
ගොතන්නට අපමන ප්‍රේමයක් ගැන
කීවෙමි ලියූ බව ඇයට බැඳි ආලයෙන්

ගෙවුනු සැම වසර දිනකම
කල්පනා සයුරෙහි ගිලී සැරුවත්
තවම විසඳුම් නොදුන් පැනයකි
කෙසේ ගෙතුනිද අරුම පෙම් කව

කොහේදෝ ඇස යොමන මොහොතක
අහම්බෙන් දුටු ඔබේ දිනපොත
අරුමයකි පෙරලා බැලූ කල
හමුවුනා ඈ ලී හදෙහි හැඟුමන්

පසක් විය මට ඒ ඇසිල්ලෙන් 
එදා පබැඳුනු පුදුම පෙම් කව
මා හදින් නොව උපත ලැබුවේ
ඈ විසින් පිදු ආලයෙන් බව

ගිමන් හල් නොමැති විඩාබර දිවිය

විඩා බර දිගු දහවලට පසු
ගෙවිය යුතුවෙයි කෙටිම සැන්දෑ යම
ගත දවන සිත පෙලන හිරු
මවා ඉමිහිරිය, හෙමින් බැසයත

දිවා සමයෙහි නැගී නුබ ගැබ
තේජසින් මුලු ලොවම පෙලුවත්
මහලු දුබලව දිරිය වියැකුන
රුදුරු ගුන නැත මල හිරුගෙ ලඟ

නිසල සන්සුන් රැයෙහි මැදියම
සඳත් සිහිලැල් දෙඅත් යොමු කොට
නලවා සෙනෙහසින් මිහි ගැබෙහි බඳ
සතපයි මුලු ලොවම පදවා තොටිල්ලක

සනහා ගිම් පවස පෙර දවසෙ ලද
වැඩ පලෙහි හෙට දිනෙහි මුරයට
නිම් නැති දිවි පෙවත පන ගසා ගැනුමටම 
පමනකිය අවැසි වන්නේ රාත්‍රිය

බොහෝ වැඩ දවස් වල, සති අන්තයෙත්
ජීවිතේ රස මිහිර විඳිය යුතු යැයි කියා 
යනු පෙනේ ඈතටම "සෑර්" රථයෙහි නැගී
රෑට සිනමා හලට දවාලෙහි මිතුරු හමුවකට

වැඩපලෙහි දියව යන ජීවිතයේ රස 
දිවා යම, සැන්දෑව, නිශාවේ නොවෙනස්ව
විරාමයත් වේ එහි සිර කොට බඳන
ගිමන් හල් හෝ නොමැති විඩා බර දිවි පෙවෙත

 පුන් සඳක් සිනාසෙයි

තරු කියන මුසා බස් නොගෙන කිසි කනකට කලකට පසු නැගුනු පුන් සඳ සිනාසෙයි අයෙක් කී කතා යන්තමින් පිලිගෙන මසකට පසුව හමුවී අමනාපයෙන් ඔබ සිටියි මහත් ආයාසයෙන් සැඟවූ කඳුළු රූරා මුව ඇඳි වත්සුනු දිය කෙරෙයි අහස් දෙස නෙත් යොමා සනසවන අටියෙන් බඳවටා පැටලූ සුරත වේගයෙන් ඉවතලයි අහසෙහි නැත ලස්සනක් කිසිවකින් ඵලක් නොමැති යැයි මුහුන දෙඅතින් වසා හංගා ගනියි පිස දමා කඳුලු කැට නෙත් කවුළු බොඳ කරන මදක් හිස ඔසවා හොරැහින් ඔබ බලයි පුන් සඳින්​ තව සඳක් එලිය වනු මට පෙනෙයි​

අහස් ගැබ තරනය

ගව් ගනන් දුර අහසට එල්ලය බලාගෙන
ඔබ කිව්වෙ හඳට ගලක් ගැහුවොත්
පොල් ගසක හෝ රැඳෙන වග
මම බැලුවෙ මෑත දිහා
පඩියෙන් පඩිය නගින හැටි
පාමුලෙ සිට කඳු මුදුන් දෙසට
මාන බලමින් අඩියෙන් අඩිය
සැරසෙමින් පියවරින් පියවර
ඉදිරියට තබන්නට
ඉතින් අපි අතර නිරතුරුව
මතුවුනා නොගැලපුම්
නොරිස්සුම්
දුරස් කර දෙදෙන
පුදුමයකි නොහැඟුනු හැටි
අප හට
දෙදෙනාම වෙර දැරුවෙ
අහස් ගැබ කරා
ලඟා වෙන්නට
මුහුකුරා යන විටයි
වැටහුනේ
අහස් ගැබ තරනයට
ඈත එල්ලය ලබා ගෙන
පියවරින් පියවර මෑත තැබිය යුතු බව

ගසක අතු අග මල් පිපෙන මුත්

එයට හැකිවෙද උපදවන්නට

තනිවම කුසුම්

අවට පරිසරයෙන් කිසිම

උදව්වක් නොමැතිව,

හිතු මනාපෙට

ඊට පුබුදුවනු නොහැකිය

පොහොට්ටු පවා

හොඳින් වැඩුනු

කෙලෙස පවරනුද ලඳරුවෙකගේ ඉරනම

ගසක අතු අග මල් පිපෙනමුත්

එයට හැකිවෙද උපදවන්නට

තනිවම කුසුම්

අවට පරිසරයෙන් කිසිම

උදව්වක් නොමැතිව

හිතු මනාපෙට

ඊට පුබුදුවනු නොහැකිය

පොහොට්ටු පවා 

හොඳින් වැඩුනු


කෙලෙස පවරනුද 

ලඳරුවෙකුගේ ඉරනම 

විසඳීමේ අයිතිය 

සින්නක්කරව අයෙකුට 

හෝ එක් පසෙකට 

ඔබ අයිති මේ විසල් ලොවටය

 නුඹ එහි කොටසකි


සෙවීම

ලියන කවි පද අතර

ලිහා ඇති සන්ධි පද

උපමා රූපක දිගැර

මල්ලකට අත දා

පැනි රස සොයන 

පුංචි කෙල්ලක මෙන්

සොයනවා ඇති ඔ බ ව ම


නිශ්ඵලය නොකියන මුත්

නොවෙහෙසෙන්න එලෙසට

නොයෙක් පාට තැවරූ

එකිනෙකින් වෙන් කල නොහැකි

දිය සායම් සිතුවමකි 

කවි පද


ඒ තුල 

සැඟව ඇති ජීවිතය 

යලි ලිහා බලනු මැන

නොහැඟුනත් හඟිමි


දිවිය එලි පෙහෙලි කල
ඔබ නැති හිදැස
අරක් ගත හැක්කේ
මොනවාටද

පා ලු ව
ත නි ක ම
කා න් සි ය ට

මිස

යොදුන් ගනනක් ඈත සිට
එවූ පනිවිඩයක
ඔබ ලියා තිබුනත්
මිනිසුන් ඇසුරෙහිදිවත්
පිපෙන මල්
හිරු සඳ තාරකා අතර
හැඟෙන්නේ නැහැ
මට කිසි විට ඔබව,
මතකයට නැගෙනවා පමනි

ඒ කිසිවකට
කවදා හෝ
ඔබේ තැන
ගත හැකිද

ඉතින්
නොහැඟුනත් හඟිමි
ඔබව ඒ අතර

අරුමය

මට මාව නැති උනු රුදු දවස් අග

නුඹම රැඳි ඉන් බෝ හවස් වල

සිරස දිවු මුදු ඇඟිලි තුඩු රඟ

කියා දුනි ජීවිතේ අරුමය


පලා යන්නට නොදී  එකලට

ජීවිතය වෙත මා තදින් බැඳ

දහස් රැහැනින් වෙලන අරුමය

ප්‍රේමයේ අරුමයම නොම වෙද

සමීපතාවය?

 මගේ ලොවත්

ඇගේ හිතත්

සමීප යැයි

පෙනුනු නිසා


මගේ දෙ අත් දිගු කෙරුවෙමි 

ඇගේ දෑත හිමිවන ලෙස 

මගෙ දෙ අතට ඔබේ දෙ අත් 

හසුවූ මුත් එදිනෙන් පසු

 

පෙනුනේ එවිටයි අපහට 

මහා පලල් ආගාධය 

අප දෙදෙනා අතර ඇඳුනු,

මගේ සිතට ඔබේ සිතැඟි

සැබැවින් දුර බව

දැනුනෙත් එදිනෙන් පසුවයි


හදෙහි සිතැඟි සඟවාගෙන

වේදනා දුකින් තෙරපුන

ඒ කාලය නිමවේ යැයි

සිතූ නමුදු


එදිනෙන් පසුවය නැගුනේ

බොහෝ ගැටුම් පිරි එ හවස්

පෙමින් පිරුනු අල්ලාප සල්ලාප 

මැද පවා


ලඟ නැති මුත් අප දෙදෙනා

මා දෙනෙතට ඔබේ නයන

බලා එකිනෙකින් එල්ලය

අල්ලාගෙන කන වැල

පිය නැගුවේ එවන් ගැටුම් මැදය

ඔබ මා වෙත 

මා ඔබ වෙත

අපි අපි වෙත



එක මගක 

එදායින් පසුව

කිසිම දවසක හමු නොවූ

කනින් කොනින් වැකුනු

වග තුගින් පමනක්

තතු දත්

ඇයව දුටුවෙමි

 බස් රියෙහි

 

කුමක් විනි දැයි ඈ හට

බෝ කලක් සිතෙහි

හොල්මන් කල

කුහුල

එකෙනෙහිම අවදි විය

 

ඈ ගත පුසුඹ

අවදි කරවයි මතක

ඔසවා අතීතයේ වේල් පට

“තවමත් ඒ පර්ෆියුම්

බ්‍රෑන්ඩ් එකමද?”

 

හුරු පුරුදු

ලපටි කෙල්ලගේ

ලකුනු

කෙමෙන් මැකී ගොස්

මුහුකුරා ගිය මුහුනකින්

යුතුය ඈ දැන්

 

අවසාන හමුවේදි

ඉවසා බැරිම තැන

ගසා දමා මා සුරත

යන බව ඉලක්කය වෙත

කී වදන් නැගෙයි සවනට

 

වෛවර්න සාරිය

බදා

ඈ කරෙහි එල්ලෙන

කලු පාට බෑගයෙහි

පොත් මල්ල

තතු කියයි ඒ ගැන


දෙමගකට ගිය මා ඔබ

එක අතට යනු පෙනේ

ජීවිතය සොයාගෙන


මදක් ඉස්සී එබී බලා

වම් අතේ වෙදැඟිල්ල

නෙතු අගින් පිරික්සන විට

යාබද අසුනෙහි යුවතිය

කොනිත්තයි මගෙ අත


රැඳී ඉනු මැන (සැබෑවටම) ඇය පැමිනෙන තුරු


රැඳෙනු මැන මොහොතක්

හදෙහි පිපි රතුමල් පිරිවරාගෙන

පා නගා ඇය එන තුරු,

සුලං මත පාවෙන වරා මලක් සේ

සැහැල්ලුව හද සිතැඟි දරාගෙන

 

කඩි මුඩි නොකොට ඈ

රාත්‍රිය නැගෙන තුරු සිටිනා

කුමුදු මල් මාලතිය මෙන්

ඉවසිල්ලෙන්

පෙර මග බලමින්,


ඇය පමාවුවහොත්

රැඳී ඉන්න

සැනින් පැමිනියහොත්

තවත් මොහොතක්

මදක් නැවතී ඉන්න


ඈ හද කැදල්ල මත රංචු ගැසුනු

සිතුවිලි කුරුල්ලන් හට

ඉඩ හරින්න නිදහසේ ඉගිල යන්නට

නොඉවසිල්ලේ ගල් ගසා බිය නොකොට


සහය වී ඈ සමග

හැඳිනගන්නට යහමින් ඔබ ගැන,

අතීතයෙන් උරුම කොට පැවරූ

දූලි බැඳුනු උපැස් යුවල පිසදා


රැඳී ඉන්න සමීප වන තෙක්

ආගන්තුක හදෙහි සුසුම් පනිවිඩ

කියවන්න කැඩපතක් වන්

ඈ යුග නෙත්

අන් සියල්ලට පෙරම


ඉඩ හරින්න ඇය හට

මුසු කරන්නට

ඈ සිතැඟි ගුවනට රිසිසේ

වයලීනයට ඇරයුම් කරන 

සුමියුරු බටනලාවක් වී 

අමතා


පිලිගන්න ඒ වදන්

ඈ මත නොපටවා

අන් සිතුම් බලයෙන්

එවන් දවසක ඇයම වී

එනතෙක්


*"If she comes soon

wait for her

And if she comes late

wait"

*Roger Waters - Wait for her - https://youtu.be/iSl1kmQMG2E



හැඳිනගත්තෙමි මම මාව - සොයා යද්දී ඔබ ගැන

කතා බස් මැද

කරකවා

සියුම් දල සීරු මාරු

අන්වීක්ෂ ඇසෙන් 

පිරික්සද්දී අපි අපිව


ජීවිතේ කදාව මත්

කාච නෙත් යොමා

හාත්පස 

සැරි සරද්දී අප දෙදෙන

ඔබ මාව, මා ඔබව 

සොයා යද්දී දිවි මග


ගැටෙද්දී අප සිතැඟි

එකිනෙක පෑහෙද්දි වාගෙම


හැඳිනගත්තෙමි ම මාව

මල් විසුල කෙම් බිම් මෙන්ම

තුඩු ඇනී රිදවන කටු පඳුරු

මා තුල පිපි

ඇවිද යන කල - දුර ගමන් මග


සොයමින් අපි අපිව

යන ගමන් මග අතර

පියවි ඇසකට නොපෙනෙන

සියුම් තැන් විනිවිදිමින්


හැඳිනගත්තෙමි මම මාව

සොයා යද්දී ඔබ ගැන


බලෙන් උදුරා ඉවත ලූ තුරු පත්


කිසිදු “එලයක්” නොවේ යැයි

බලෙන් උදුරා ඉවත ලූ පසුත්

කෙඩෑරී වී ගිය ගස කියයි


දුර්වර්න වියපත් පත්‍ර හැර

කියා දෙන්නෝ කවරහුද

ගසක් නම් වැඩෙන සැටි

දරා බාධක නොමියැදී

නොසැලී හිරු එලිය වෙත

නැගෙනා’යුරු

ලාබාල තුරු පත් වලට

ඇද වැටුනු පසුවත්

ගත සවිය දියකර

සියල්ල උන් වෙතම දෙවමින්

පොත් පිලිස්සීම

*නාසින් පොත් පිලිස්සීමෙන් අනූ වසරක් 

අන කෙරිනි

පුලුස්සා දමන ලෙස පොත්

ඔව්, ඉනුත් වටිනාම දෑ

ගිනි පෙනැල්ලෙන් 

මකා දැමිය යුතු බව සදහටම


අඳුර රජයන යුගයකට

නිවාලිය යුතු බැවින්

මිනිස් වග

ලෝකයට විහිදු

හැම පහන් සිලු

උත්ථානයෙන් ඉක්බිති

අලු පිසදා නැගිට විත්
බොහෝ කලකට පසු,
පැරනි මතකය
රිදුම් දෙන
පාළු සවසක

විටින් විට
අතු ඉති යොමා
දොරගුලු හැර එබී
කොනිත්තවන
දුරාතීතයේ
මතක සොහොන් ගැබෙහි
සිත පතුලටම ඇදුනු මුල්
සොයා ඇදුනෙමි

සොහොන් ගල් මත
අතුල්ලා මදින ලද
පොරොවක් අතැතිව
සියල්ලම
සුනු විසුනු කරන
වියරුවෙන්

යොදා සියළු වැර
කිහිප පහරක්
එල්ල කෙරුවත්
බලා හරි එල්ලය

කිසි උවදුරක් නොවී එයට
හැම පහරකින් පාහේ
මා දෙඅත් පමනක්
තුවාල වී, රිදුම් වැඩිවේ

වහා ආවෙමි හැරී ආපසු
මනස් ලෝකයෙන්
පෙරටත් වඩා
දැදුරු වූ සිතකින්....

ඉනුත් බෝ කලක් ගතවී
මතක සොහොන් ගැබ්
සමග ගනුදෙනු කරමින්
ජීවිතේ ගව් ගනන්
දුර ගෙවා ගොස් සවසක

පෙනේ මට
ජරපත්ව ගිය
සොහොන් ගැබ
පිපුනු සුදු මල් අතර
නටඹුන්ව ගිය
යමක් පමනක් ඉතිරි ව.

මහළු පෙම්වතියගෙන් පැනයක් - ඇයි මට තවමත් ආදරේ


මතකයිද

සඳ පෑයූ නිශාවක

තියා නිකට උරහිසට

හීන් නිය තඩු දික්කර

රෑ අහස දිහාවට

තරුමල් වල හැඩ

හඳට පෙම් කරන බව

කියා දොඩමළු වෙද්දි ඔබ

“හාවාට කැමති වුනත්

ලොකුම ලොකු ආවාට පිරුනු

පින්තූර වලට ආස නෑ”

නොරුස්නා බසක් කියූ විට මම


රිදෙන්නට කොනිත්තා

කන් පෙත්ත

හාවාටත්, එය නෙලා ඇති

අවලස්සන සඳටත් දෙකටම

පෙම් බැඳීම

ආලය බ​ව

මිමුනුව හැටි



කවිකාරයෙකුට වෙඩි තැබීම


"ඔබට මා මරන්න ඕන නම්

උල් පිහිය හෝ තුවක්කුව රැගෙන

උත්සාහ නොකරන්න

පුච්චන්න මගෙ කවියෙන් සෑදුනු

මගේ පොත් එකින් එක"


කමලා දාස්


ලියූ කවි මුගුරු පහර වැද

වියරුවෙන්

හිස් කබල එල්ල කොට

එක් පහරකින් සුනු විසුනු වනු පිනිස

එවන වෙඩි උන්ඩයකින්

මරා දමනු නොහේ


කවිකාරයා ජීවත් වන්නේ 

කවි තුලය

මියගියද ඒවා පවතිනු ඇත

ඔබට වාරන නියෝගයකින්

ගිනි පෙනැල්ලකින් සහ මකනයකින් 

ඒවා වැනසිය හැක


එහෙත්,

ඒවා ශේෂව ඇත්තේ 

කවි හිත් තුලය



අමුතුම ජීවියෙකි පින්තාරුවෙ හිඳින


කාලයේ ආලෝක ධාරා වැදී 

පෙදෙසක්ම දුර්වර්න ව ගිය 

පින්තූරයකි, සාලයේ කොනක 

අතීතය අමතකව යාමට නොඳී 

සිහි කරන 


කලිසම් කොටයක් අන්දවා 

මුහුනේ පුයර නහවා 

ලස්සනට හැඩට 

පීරා කොන්ඩය 

මදක් ඉහලින් පසුපසට, 

මග දිගට සෙල්ලම් බඩු 

ඉල්ලා කල කරදර දරාගෙන 

ස්ටූඩියෝවට කැන්දා ගොස් 


යලිත් නොඑන සේ 

නිසල ඡායාරුවකට රාමු කල 

කෙලිලොල් ළඳරු විය 


හැරී බලමි 

පින්තාරුව තුල හිඳින අමුතුම ජීවියා දෙස 


පුංචි අත් පා පුංචි සිරුර 

පමනක් නොව 

කුඩා හිතකි 

එය තුල 


රූල් නැති හිස් පොතක් වගේ 

පුංචි මගේ හිත පතුලේ 

යන එන මග තොට හමුවන 

දේ අසා දැන කුහුලෙන් 

නොදැන එහි හොඳ නොහොඳ 

සියළුම දෑ එකතු කල 


මා යැයි කිව හැකි 

ලකුනු කිහිපයක් 

එහි ඉතිරිව ඇතිමුත් 

බොහෝ දෑ වෙනස් වී ඇත 

සිරුරෙන් පමනක් නොව 

සිතුම් පැතුම් ද



කලකට පසුව හමුවූ පෙම්පත


දිගු කලකට පසුව හමුවිය

අල්මාරියේ ලාච්චුවක සුරැකිව

බහා තිබූ

ඔබට දීමට නොහැකි වූ හසුනක්


සැන්ට් සුවඳ කවා

ලස්සනට පාට පාට

රවුම් අකුරින් ලියූ

රෝස මල් අලවා

හැඩ කල


සිහිවී එ කල

ලියමන 

පපුවට තද කොට

ගත් දිගු ආශ්වාසයෙන්


සුපුරුඳු සුවඳක් නැහැයට දැනිනි

පුදුමයකි

කැටය කඩා  එදා මිලට ගත්

කුඩා සැන්ට් කුප්පියේ සුවඳ 

අදටත් ලියුමෙහි

සුරැකිව....

නෑ.

ඒ ඔබේ සුවඳමයි

                                


යුද්ධයෙන් විනාශ වූ උතුරුකරයට ගමනක්


 ප්‍රවේසමෙන් පා තැබිය යුතුයි 

පහසුවෙන් උදුරා ඉවත ලා නොහැකි 

මතක බිම් බෝම්බ 

එක් පියවරකින් පුපුරා යා හැකිය 

සැහැල්ලු අවි පහර වැදී 

නිවෙස් වල හදවත් 

සිදුරු වී ගොසිනි 

බර අවි මගින් 

සෙවන දුන් වහලවල් 

ඔහේ විසිවී ඇත 

අතැර දැමූ ගොඩනැගිලි 

වල් වැදී ඇතිමුත් 

පැහැදිලිව පෙනේ 


ඉතිරි වී  ඇත්තේ

කඳුළු පිරි මතක 

තුරුල් කරගත් 

දැදුරු වී ගිය ජීවිත පමනි 


බූට්, බැටන් පොළු 

දිගු කලක සිට පාරන 

ලේ වැගිරෙන කැලැල් 

කිඹුල් කඳුළු වලට සුවපත් කල නොහැක



ඔබ මලක් 


මලක් නම් ඔබ

සිනාසිය යුතුය

ගසක උඩම අත්තක

ලොවටම සුවඳ සදමින්

පල වැල උපදවමින් 


නෙලාගත් දෑතක

පුදට තැබූ මල් වට්ටියක

කාගේ හෝ කෙස් රොදක

නිකරුනේ පර නොවී 



කොහොම ගෙතුනාද ඒ කවී


*"අඳුරු යුග තුල 

ගැයුම් වේවිද?

ඔව්,

ඒ අඳුරු යුග 

ගැන ගී වෙයි." 


-බර්‍ර්ටෝල් බ්‍රෙෂ්ට්- 


                අඳුරු යුග තුල දැඩි    වෙවී 

                රස පද වැල් සමග මුසු කෙරී

                පෑන් තුඩගින් ලිහි       ලිහී

                කොහොම ගෙතුනාද ඒ කවී 




ආවර්ජනය


ඔබ ගැන

ශේෂ වූ මතකයන්

සිහියට නගමි


සමහර දෑ හරි හැටිම

මතකයේ නැති වුනත්

එකිනෙකට අමුනමි


හද පතුලටම

කිඳා බැසගත් තැන්

හොදටෝම මතකය


අමතක වී ඇතැයි

සිතාගත් බොහෝ ස්පර්ශයන්

රෝම කූපයේ සිටම සිහිවෙයි


අඳුරු කාමරයේ

මතක අමුනා ගොතන ලද

සෙලෝලයිඩ් පටයේ ඔබ මොබ සරමි


කටුක තැන් හමුවේදී

අත ඇති සීතල බීර බෝතලයම

එක හුස්මට හිස් කල හැකිය


රසමුසු තැන් වලදී

බෝතලයේ සීතලට බැඳෙන තුශාර මත

රවුමට සිනා ඉරක් ඇඳිය හැක


අතිශයින් ත්‍රීව්‍ර අවස්ථාවල

හුස්මත් සිරකරන වේගයෙන්

ඉහල නැග

හෙමෙන් පහලට බසින

සුසුම් පොදියකි


බිත්ති ඔරලෝසුවේ

කටු ආපසට කැරකෙන සෙයකි


ටික් ටික් ටික්.



හ්ම්ම්..


වේලාව රාත්‍රී දොලහට ආසන්නය

නිවෙස් වල විදුලි බුබුළු එකින් එක නිවී යයි

වට පිටාවම නිහඬය


ඈත පාරේ යන වාහනයක ශබ්දයෙන් එයද බිඳී යයි.

ඔබෙන් නොකඩවාම පනිවිඩ පැමිනෙන හඬ නිදිමතට බාධා කරයි

අසිහියෙන් ඒවාට පිලිතුරු යවමි


ජංගම දුරකථනයට පැමිනි පුවතකින් ඇස් අරවයි

“උද්ධමනය තවත් ඉහලට”

යුද්ධයෙන් තත්වය තවත් අමාරු වනු ඇති බවට තවකෙකින් කියවෙයි


ඔබේ පනිවිඩවලට විරාමයක් නැත

“හොඳ ගෙයක්!, වාහනයක්!, හොඳ රැකියාවක්!, හොඳ ජීවිතයක්!”

නොඉවසිල්ලෙන් චැට් තිරය මත ඔබ සිහින දිග හරියි


ඒ සිහින වසාගෙන

තිරය පුරා පුවත් එක පෙලට දිග හැරෙයි…

“පාන් ගෙඩියක මිල රුපියල් තිහකින් ඉහලට”

“තිරිඟු පිටි මිල රුපියල් තිස් පහකින් ඉහලට”


ඔබේ පනිවිඩ වලට නැගෙන සිතුවිලි

ඇඟිලි තුඩු මතට සම්ප්‍රේශනය වීම

මොහොතකට නවතී…


පිලිතුරු පමා වීමෙන් ඇය තරවටු කරයි…


බොහෝ දෑ කල්පනා කොට එකම වචනයකින් පිලිතුරක් ගෙතුවෙමි.

“හ්ම්ම්ම්…”



ජීවිතය බෙදාගැනීම


ජීවිතය ගැන බොහෝ තතු ඔබ කියයි

කලකට පසුව

අහම්බෙන් හමුවූ යෙහෙලියක් ගැන

සමහර විට කුඩා කල මතකයක්

නිමාවක් නැති කතාවකට 

මුල පුරයි 


ඇස් බෝල ලොකු කර

කට උල් කර

වසර කිහිපයකට පෙර, 

මිනිත්තු කිහිපයක සිදුවීමක්

වරුවක්ම ඈ රඟ දක්වයි

ඉතාමත් රසවත් ය

මුහුන රතු කෙරෙන 

බාධා කිරීම් කිහිපයක් 

මගෙන් වූවත්

නොඉවසිල්ලෙන් එයට සවන් දෙමි 


නමුත් සතියකම ගතු 

බෙදාගන්නට මට වැය වෙන්නේ

නීරස මිනිත්තු කිහිපයකි 


ඇය ඒ ගැන පුදුම වෙයි

මගේ හඬින්

දිගට ඇදෙන දිග කතාවක්

ඉල්ලා සිටියි 


මන් ආස අහන් ඉන්න 

මට පුළුවන් ලියන්න විතරයි

පිටු ගනන් පිරෙන තුරු



සඳට තරුවලට ලියූ කවි 


සඳට තරුවට කවි ලියූ කාලය

නිමා කර ඔබ ගැනම ලියනෙමි

තවත් කුමටද ඔබේ අබියස

එවන් උපමා කවි ලියන්නට 


හඳත් පරදන රුවට පිපෙනා

හැඩැති පියකරු මුව මඩල

බැබලෙන දිගු නෙත් ඇයගේ

තරු ලකුනකි මග පෙන්වන 


         

මම ඇත්තටම ආදරය කරන්න පටන්ගෙනද මන්දා


ඔබේ ඇසුරෙන්

මොකක්දෝ හැඟීමක් දැනුනට

ඔබේ යහළුවන්

අපි දෙන්නගේ නම් කියද්දි

නිමක් නැති ඔබේ

විමසුම් මැද


"හා" කිව්වේ

කරදරෙන් බේරෙන්න බැරි කමට


පෙර මෙන්

සොයා බැලීම්

පනිවිඩ

නැති වුනත්


සිත තැවුලෙන් පිරෙන විට

එන දුරකථන ඇමතුමේ

සිත නිවන වදන් වල

තිබුනා ලෙංගතුකමක්


අමතක වී උපන් දිනය

කලබලෙන් කොහෙන් හෝ

හොයාගෙන එන තෑග්ගෙත්

සැඟවී තිබුනා සෙනෙහස


සැන්දෑ වෙලාවක

උයනකදී හෝ වෙරලක

ආදරෙන් හිස පිරිමදිද්දී

දැනුනා ඔබෙන් ආදරය


දැන් දැන් තනිව ඉන්නා විට

දහස් දෙනා මැද සිටිනා අතරේ

ඈතින් හමා එන හුලඟෙත්

ඔබේ සුවඳ සොයනවා මම


ඉතින්


දන්නවද


මම ඔබට ඇත්තටම ආදරය කරන්න පටන් ගෙනද මන්දා....




මරනයේ හාදුව


*ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොතෙහි 1944 අප්‍රේල් 16 සහ 28 දිනවල තැබූ සටහන් ඇසුරෙනි.


උරහිස වටා පටලවා දෙ අත්

යවා දසැඟිලි කෙස් අතර

දඟ කරමින් කෙහෙරැලි සමග

අමිහිරිම අඳුරු යුගයක

නාසි මුර බල්ලන් රජ කරන


දුන්නේය ඔහු

පලමු හාදුව

ජීවිතයේ මිහිරිම දෑ කැටිකොට

නැවුම් වැලඳ ගැනීමක්

සහිතව

දෙකම්මුල් දෙඅත් පිරිමදිමින්


ඔහුගේ රිද්මයටම

හද ගැස්ම ක්‍රමයෙන්

ඉහල නැගිනි


නැවුම් හැඟුමක්

අලුත් ජීවයක්

දින පොතේ පිටුවකට

පිබිදෙන ලොවකට


දෙගිඩියාවෙන් ගෙවුනු

ජීවිතයේ අලුත් මානයන්

විවර කල

දිගු

කැලැන්ඩර කොටු දුසිමකට පසු


නොනවතින හාදුවකට

ඇරඹුම මමම තැබුවෙමි......

              


අඳුරුම කාල පරිච්ඡේදයන් ගැන ලොවට හෙලි කල ඇගේ දින පොත මෙම සිදුවීමෙන් දින 63 කට පසු සදහටම නිම විය.



සිහිනය 


කුමරී 

නිසොල්මනේ

සැතපෙයි නිදි යහන මත

දකිමින් සුබ සිහින

හෙට දවස පිලිබඳව


මුව මඩල මත වැටුනු

අවුල් වූ කෙහෙරැලි 

අතරින් මතුවේය

සිහින දකින කල

සිහින් සිනහවක්

උදෑසන පිබිදෙන

මලක් සේ සුන්දර


සැඩ සුළං හැමූ

බියකරු රාත්‍රිය 

දෙකම්මුල් පෙති මත

අතුල

කඳුළු බිඳු

පිස දමයි සිහිනෙන්ම


සිහිනය නිම වී

සැබෑ ලොවට පැමිනි කල

නිදි ගැහැට හැර

විමසයි දුක්බරව

“සැබෑ ලොව සිහිනයට කෙතරම් සතුරුද?”


සැබෑ ලොව කෙතරම්

කටුක වූවද

සුන්දර හෙට දිනක් ගැන 

සිහිනය බිඳ නොහෙලනු මැන


සිහිනය මිහිරි වන්නේ

එය සැබැවන තරමටම 

නොවෙද


එන්න 

අපි ඇවිද යමු

අතින් අත නොහැරම

රළු බොරලු ඇතිරුනු 

කටුක

ජීවිත මාවතේ

සිහින සපුරාගන්නට


පහසු නැත එය 

නමුත් 

අප තනා ගත යුතුය

සිහින සපිරෙන ලොවක්



 වාසනාවේ අන්ධභාවය

 

ලා හිරු රැසින් දැවී

ජීවිතය හැර දමා ගිය

පිනි අතර

අහම්බෙන් ඉතිරි වුනු

එක බිංඳුවක්

තණපතක ඉහලම කොනක සිට 

උද්දාමයෙන්

හඬ නගා කීය

පොලො ගැබ තුල සැඟව

ඇති තෙතමනයට

 

“එනු බලනු 

මා මෙන්ම මුහුන දෙනු

හිරු එලියට,

නොමියැදී සිටිය හැකිය

බලන්න මා ජීවත් වන අයුරු”

 

මද්දහන හිරු රැසින් 

තමා ද වියැකී යාමට නියමිත බව 

නොදැනම

 


මල්සර


යොමා නෙතු සර

දමා මල් හී

නගා දුනු දිය

විද්දේය මනු ලොවට

 

අහෝ! වැද හී සර

දැදුරු වී හදවත

අයෙක් වලප්නා හඬ

ඇසුනි දෙව් ලොව වෙත

 

පෙර නොවූ අරුමයකි

මලින් සැදි ඊ හිස වැද

ප්‍රීති ඝෝෂා වෙනුවට

ඇසේ දුක් රාවය

 

ගෙන උක් දඬු දුන්න

නැගී සිය රිය මත

ආවේය මිහි මතට

ඇසිල්ලෙන්

 

වැදී මල් සර

නැගෙනා ආදරය

පටු පවුරු අතරෙහි සිරවී

විඳී නෙක දුක් ගැහැට

 

සීරී ඒ කටු කම්බි

මායිම් වලට

ආලයෙන් පිබිදෙනා හදවත

වැලපෙයි මහ හඬින්

 

ප්‍රේමයට ඉඩ නැති කල

කුමන ඵලද

දුන්නක් සමග

මල් හී අතැතිව හිඳ

 

කඩා උක් දඬු දුනු

පතොරමක් දමා ඔහු

තුවක්කුවකට

මෑනුවේය ඒ දෙසට

       


තානායම් කවුළුවෙන් පෙනෙනා ලෝකය

 

*කඳුකර ප්‍රදේශයක තානායමක ලැගුම් ගැනීමට පැමිනි ධනවතෙක් සහ ඔහුගේ රියදුරු කවුලුවෙන් පෙනන පරිසරය පිලිබඳ තැබූ සටහන්

 

රියදුරා

                                                       

වලාකුලු අතරින් පෙරී

වැටෙන ලා හිරු එලිය

කඳු වලලු අතරින් එබී

හිනැහේය මා එක්ක

 

කොතෙක් දුර බැලුවද

නිමක් නැති කොල පැහැය පිරුනු

කඳු මුදුන් මීදුම් සීතලට වෙලී ඉඳ

සිප ගනී නිල් අහස වරින් වර

 

හමුවිය ඒ අතර

ලැයිම් කාමර පේලි

අපිලිවෙලට අහුරා ඇති

තේ වතු අතරට මැදිව

 

මෙතෙක් දුටු ලස්සන 

කොහිද...? ඒ වතු අතර

කුසගින්නෙන් වැහැරුනු

ලමුන්, මිනිසුන් මිස

 

කූඩ පිට මත බැඳන්

වැඩට යන කම්කරුවන්ගේ

විඩාපත් මුහුනු දකින කල

දැනේ අඳුරක් කියාගත නොහැකි

 

ඒ අඳුරට ඉහලින්

වතු යායෙ ඉහලම තැනක

බංගලාවක් ඇත

යස ඉසුරින් පිරී ඉතුරුනු

 

ධනවතා

 

හිරු එලිය වැටෙනා විට

සංචාරක බංගලාවකට

කදිම ගැලපෙන පරිසරය

කඳු මුදුන් මත පෙනේ

 

කොල පැහය ඉහිරුනු කඳු වැටි

මිලට ගෙන තැනිය හැක හෝටල්

ගොඩ ගැසිය හැකිය ලාභ එයින්

කඳු වැටි පරයන උසට මහතට

 

තේ වතු තැනින් තැන

උල්පත් ය කහවනු උපදන

කන්ද කපා තවත්  බිමක්

තැනුවොත් කෙතරම් හොඳද

 

තේ කුඩ ගනන වැඩි වන විට

ලාභ ඉහල නගී වේගයෙන්

මිලට ගතහොත් මේ සියලු දෙය

අතැඟිලි මදිය ලැබෙන දෑ ගැනීමට

 

ලැයිම් කාමර අතර

කුමන අරුමයක් ද කියනට

හෙට දිනයේ වැඩට පැමිනීම

පමනක්‍ ය සිදුවිය යුතු

 

බංගලාවේ මහල් ගනන 

වැඩි කොට තවත් උසට

සුවපහසුවට තැනීමට

හැකි වේය මට එවිට



සඳ නැගෙන සඳ


හඳ රැයෙහි නැගෙන සඳ

සඳ ඔබේ තරුන හද

හද මගේ සිඹින කල

කල් ගෙවේ නොදැනීම


පෙම් වදන් සිත් කළුව

කළුවර තිර බිඳ හැර

හැර දමා දිවි මග තනි

තනි රකී අසලින්ම


ඔබ හදින් පිය ලඳ

ලද  පෙමින් දැල්වෙන

දල්වන මා සිත් පහන්

පහන් කරයි ඔබෙ ලොවත්


සඳ ලඟටම ආවිට

ආවාට, පෙනෙනා අඳුරු

දුරු කෙරෙයි ලැබ එලිය

එලි වැටෙන් මා හදෙහි



ගන්ධබ්බ ප්‍රේමය


ඒ අතට මේ අතට

ජීවිතයෙ තරාදියෙ දෙපැත්තට

ප්‍රේමයේ පඩි දමා - කිරා බලනා විට

කටුව සෙලවේ

විටෙක

ඈ දෙසට නැඹුරුව - මතක ඉතිරි කර වෙන්වුන

තවත් මොහොතක 

මා ලඟම ආලයෙන් හිඳිනා - ඔබ දෙසට බරවේය

දෙගිඩියාවකය සිත 


ඔබේ නැවුම් ප්‍රේමයෙන්

සුව විඳින අතරම 

ඇගේ රුව මැවේ මට

මතක එකිනෙක කාන්දු වී


පඩි දමා තරාදියේ දෙපැත්තට 

සමීකරන යොදා මැනිය හැකිද ප්‍රේමය

කා හටද වැඩියෙන් ආදරේ..

ඈ සහ ඔබ අතර සිර වෙච්ච

අත්විඳින ප්‍රේමයකි ගන්ධබ්බ 




ඈ සමග පලමු රැය


සඳ නැගී අහස් ගැබ

අත වනයි මට එන්න

පිනි බාන ගේ මිදුලෙ

තරු රටා කියවන්න


මදුරුවෝ වල් පල්

කොඳුරති කන වටකොට 

ඒ කතා අසන්නට

මා සිතේ ඉඩක් නැත


නිදිමත අවුදින් කොහේ හිඳ

ඇස් පියන් උඩම ලැගගෙන

ආයාසයකින් තොරවම  

මම හිඳිමි නෙත් කවුලු ඇරගෙන


ජනේලෙන් පෙරී එන

සඳ එලිය අතරින්

ලැජ්ජාවෙන් ඈත් වී සිටින

ඔබෙ මුහුන බලමි මම


සඳක් සේ විකසිත මුව මඬල

මුවා වුන කෙහෙරැලි කලු වලා

අතරින් මුදාගෙන ඔබ

සඳකැන් එවන්නී යන්තමට සිනාසී


ඔබේ තරු නෙත් මවන

රටා කියවීමට වෙහෙසුනෙමි

පෙරදාක නොකියූ රහසක්

රැඳී ඇත එහි සැඟව


හැ‍‍ඳින බොහෝ කල් වුවත්

අමුත්තක් දැනේ මට

මේ රැය තවත් රාත්‍රියක්

වාගේ නොහැඟේය


විදුලි පංකාවෙන් එවන

සිහිල් ඉඳිකටු ඇනී

ඈ වැලඳගනී මා උනුසුමට

ලැජ්ජාව අතහැර දමා



බුලත් හෙප්පුව


කැබිනෙට්ටුව තුල බලා හිඳි

කීප මසකට වතාවක්

පැතුමින් පිරි මැද ඔප දමා

කල එලි බසිනා හෙප්පුව

පඬුරු නොමැතිව පිරිනැමු

බුලත් අත් කිසිවක් 

නොපිලිගත් හෙයින්

දැන් හොඳටෝම හති වැටී

අගුලු ලෑ පෙට්ට්ගමෙක ගිමන් හරී

දූවිල්ලටම පෙම් බඳිමින්




 තටු කැඩීම


රෑ තිස්සේ හිත අස්සේ

එක් රැස්වූ තුරුනු සිහින

වලින් හදාගෙන අත්තටු

නයට ගත් ස්කූටියට නැග

බලාපොරොත්තුවේ යතුරෙන්

ජීවිතයම පන ගන්වා

ඉගිලීගෙන ගිය විට වැඩපල වෙත

වසා තිබුනි ගේට්ටු පලු

කප්පරක් උසට තැනු සිහින

ලඝු කොට කොල කැබැල්ලකට

එල්ලා ඇත ගේට්ටුවෙහි

"රැකියාවෙන් අස් කර ඇත".



මරනානුස්සතිය


දෙණ අසල හිඳ

නෑයෝ

නොයෙක් 

මතක බන පද කියති

අහිමි වූ "නෑයා" පිලිබඳව,

මට කියන්නට ඇත යමක්

ඔවුන් නොඇසූ කතාවක්

ඇය පිලිබඳව,

ජීවිතය මා සමග හුවමාරු

කරගත්.


කටුක දිගු කාර්තු වලදීද

පහසු කෙටි කාර්තු හමුවේද

පා පැටලි ඇද වැටි වැටී

ජීවිත මගෙහි ඇවිද යන විට

මගෙන් ඈතටම ගිලිහුනු

සිහින අහුලාගෙන

යලිත් මා වෙතම දුන් 

අත් වාරුවක් වී 

මා සමග සිටි මිතුරිය


ජීවිතේ බර මා සමග

කරට කර උසුලාගෙන

දුක් පිරුනු කටු පොකුර

ඈ විසින් දරාගෙන

පිපුනු මල්  දුන්නීය මා නමට


මල් වඩම් සරසවමි ඒ මලින් ගවසා

නොහොඳ නෝක්කාඩු විසි කරමි චිතකයට

මට පිදූ ආලයම පමනක් තබා ගමි 

හිත ලඟින් තනියට





අඳුර නගරය වසාගෙන

කඩමන්ඩියට ගොඩවෙත

ලයිට් කනු බිම බලාගෙන

උකුස් ඇස් යොමු කරති

ඉන් එලිය නොවු තැනක

හිත් ගිනි පපු කුහර තුලම සිර කර

පිම්බුනු ලැම දරාගෙන

ඈ හිඳී ඈත ඉම බලාගෙන

නොනිදාගෙන නිදන යාමයක

රිදුමන් දරාගන්නට පිහිට වන

පැනඩෝල් කාඩ්පත තිබේදැයි

බෑගය තුලට අත රුවාගෙන.




පැනය


සත් රුවන් මිනි මුතු පිරුනු

සත් මහල් ප්‍රාසාද හිමි වුනු

කුටුම්භය අතහැර දමා

අභිනික්‍රමනය කල ඇයව

සත් මසකට පසුව හමුවී

ඔහු ඇසුවේය මෙලෙසින්

මන් නුඹට මොනවාද නොකලේ..??


"ආදරේ "



තිත්ත මතක


ජීවිතේ විවිධ කාල වල

විඳ ඇති මුත් නොයෙක් රස

ලුනු රස

ඇඹුල් රස

පැනි රස

තිත්ත රස


අදටත් සීනි අහුරක්

අල්ලකට ගෙන

රස බලන විට

දැනේ එදා කුඩා කලදී

හුරු උනු

දිව අගම තැන්පත් වුනු

අපුල 

ඇ‍ඟම හිරි වට්ටන

තිත්ත රස මතුවේය

පැනි රසත් සමගම




බැඳීම්


වස්සාන කාලවල

සැඩ මාරුතයටත්

වෙන්කරන්නට ඉඩ නොදී

පොලොවේ තෙතමනයට 

ආලයෙන්

අත් යොදා පොලෝ ගැබ

මහා හයියෙන් බදා සිටින

රූස්ස ගස්


දැඩි නියං කාල අතරතුරදීත්

බැ‍ඳීම් අත් නොහැරම 

පස් අංශු අතරින්

අත් යවා

පොලෝ ගැබ සිසාරා 

එබිකම් කරයි

අවසන් 

ජල බිඳුවත් හමුවනතුරු


 


මරන පරීක්ශනය


පුවත්පතෙහි 

පොල් අකුරින්

කලු තීන්ත වැඩියෙන් 

පොඟවා

"සිය දිවිනසාගැනීමකි"

ඒ ලඟින්ම

තව ලොකුවට

ඡායාරූපයක් මියගිය අයගේ

අකුරු වලට තනි මැකුමට


ඇස් හොරාගැනුමට

ඡායාරූපයේ තැනකින්

රතු රවුමක් 

ලොකුකොට ඇත ඒ පෙදෙසම

කොනකින්

"ඇඟිලි අතරෙහි සිරවුනු 

වස කුප්පියක්"


දුටුවෙ නැහැ බොහෝ දෙනෙක්

රූල් නැති හිස් පිටු කිහිපයක්

නොයෙක් වධ වේදනා විඳ

ගුලි කොට පොඩි කර දමා

කාමරේ මුල්ලකට

වීසි කර තිබූ


ලියන්නට උත්සාහ දරා තිබුනි

එක් කොලයක 

මොනවාදෝ කටු අකුරින්

ලියා තිබුනු හැම වචනෙම

කපා කොටා හැම අතටම

කටුගා තිබුනා පෑනෙන් 

කියවන්නට නොහැකි විලස


ඉන්පසු හමුවූ කොල නම්

මුකුත් කොහේවත් නොලියුව

දහස් වේදනා විඳි 

පොඩි කල ගුලි කල

නැමුම් පාරවල්

පමනක් ඉතිරි වූ

රූල් නොමැති හිස් පිටුමය




නිවසක් උවමනා කර තිබේ


නිවෙසක් කියන්නේ

බිත්ති වලින් වටවූ

හිස් ගොඩනැගිල්ලකටමද

මිනිස් පුලුටක් නැති,

ඔවුනොවුන් ජීවිතය බෙදාගන්නා

ජීවන සුව‍ඳින් පිරුනු

ආත්මයන්ගේ සෙනෙහෙබර

නවාතැනකි නිවහන


නිවෙසක් වුවමනා කර තිබේ

නවතින්න නොව

ජීවිතය අලුතින් විඳගන්න




නිදි නොලද රාත්‍රීන්


සෑම උදෑසනකම ඔබ

අරඹයි දින චර්යාව

සුපුරුදු ලෙසට,

නොපෙනේද ඔබ හට

නිදි නොලද රාත්‍රීන්

ලකුනු කල කැලැල්

මා මුහුන මත


ඇස් පියන් විඩාපත්ව

පාතට බර වේය

නිල්වන් යැයි

නුඹම පැවසූ

නුවන් අඩවන් කොට


එකම සයනයෙහි 

දෙපසකට වී හිඳ

ඔබ සුවබරව නිදන 

අතරෙහි


නෙත් කඳුලින් බරව

ගෙවුනු නිදි නොමැති

සෑම විඩාපත් රාත්‍රියක්ම 

ගත වූයේ

තව දිනක් හෝ අපහට

එක්ව ජීවත් වීමට

ඔබගේ වෙනස

මා හා ගලපාගැනීමටය.




සිර කල කිරිල්ලිය


පැතුවෙ මන් ඔබ සමග 

ජීවිතය සොයාගෙන

දුර ඈත ඉගිලෙන්න


ඔෆීසියෙ වැඩ අතර

ගැටී කහවනු සමග

ඔබ සොයයි ජීවිතය


සිරවෙලා මම අද

හැලි වලං දැලි අතර

කුස්සියේ වැඩ සමග


කිරිල්ලක වූ මා

ගැට ගසා නිවෙසට

තටු පවා අහිමිය


ඒත් මට

දුක වැඩිම 

නුඹෙ නමින්

සෑදු කූඩුවක 

සිරවෙන්න සිදුවීම




දැනුනේම නෑ කෝච්චිය ඇඟ උඩින් යනතුරු


*පුවතක් - වෙ‍‍හෙසට පත්ව දුමිරිය පීලි මත නිදා සිටි මිනිසුන්ගේ ශරීර මතින් ඉන්දියාවෙි දුමිරියක් ගමන් කරයි


කුටුම්භය රැක බලාගන්නට

උවමනා මිල මුදල් සොයාගන්නට

දුර ඈත දනව්වක් වෙත

වැඩට ගොස් සිටින අතර තුර


වසා දැමුනි ගම් දනව් සීමා

ෆැක්ටරියද හදිසියෙන්ම

"ඇඳිරි නීතිය" පනවා


ගමට යන්නට මගට බට විට

නැහැ එකම එක කෝච්චියක්

ඉතිරි වී ඇති බසයක්


අතේ යන්තම් ඉතිරි වී ඇති

තුට්ටු දෙකටත් තට්ටු කරගෙන

දෙපයට වාරු දී

කාකි ඇඳුමට බයෙන් ගැහි ගැහි

ආවේ ගේ වතු උඩින්

කැලෑ මාවත් තුලින්

"මහා පා ගමනක්"


සැතපුම් දහස් ගනනක් දුර

ඉරට ඔච්චම් කරමින්

කුසට අහරක් නොමැතිව

ඇවිද ආ ගමනෙහි


මහන්සිය නිවාගන්නට

රේල් පාරේ ඈඳීගත්තම

දවස් ගනනකට නොදැනුනු

ඒ සුවයට ඇස් පියවුනා මිස

ඇහි පිහාටුවක් වත්

ඇහැරුනේ නෑ

කෝච්චිය ඇඟ උඩින් යනතුරු..




යන්න හැකිනම්  නැවතත්


හිතේ නැගෙනා ගින්දරින් 

ලිප ගිනි අවුලුවා

යන්තමට කටවල් 

හතර පහකට සෑහෙන්න

ඉදෙන බත් හැලියෙනුත්

අඩකින් කුසගින්න

සනහා, සුසුම්ලන

නුඹ දකින විට


මට සිතුනි

යන්නට තිබුනි නම් 

ආයෙමත් අපහට

එදා කුසගිනි නැතත්

හිත් ගිනි නිවූ

වැලිත් බත් කල කාලයට




සඳවත

 

වලාකුලට මුවා වෙලා

ගිලන් ව 

වැහැරී ගිය සඳවත

රහසේම හඬා වැටෙයි

ලප කැලලින් පිරුනු

ඒ මුහුන කියන්නේ

තුන් යම නිදි නොලැබ

විඳි දුක් ගැහැට නොවෙද

අම්මේ නුඹෙ මුහුන

වාගේය සඳවත 

හොර රහසේම හඬන


සඳ වටා ගැවසුනු තරු කොහිද

හැංගීද

අපි වගෙම දුප්පත්කමට

උකස්කොට

අඳුරටම සින්න වීද


එබී බලනා විට

කකුලෙන් ඇදුමටම පොරකන

කලු වලා මැඩගෙන

එලිය කරනා සඳවත

නිහඬවම සිටින්නේ මන්ද

නොකියාම නූඹ විඳි දුක් කන්ද


අම්මේ නුඹ වාගේය සඳවත

හිරු නැති රෑ අහසෙ

එලිය බෙදනා ලොවට


දුක් කඳුලු මැඩගෙන

හෙටත් පායන්නේ නොවෙද

ගිලන් වූ සඳවත




යුද්ධය


මරනය ඉල්ලා

යෝධ සෙබල පෙල

කෙත් යායවල්

සුනු විසුනු කරමින්

ඇදුනි

ලේ පිපාසිතව 

ගොදුරකට අර අදින

යුද ටැංකි වන සතුන්

කුරුමානම් අල්ලමින්

ඉදිරියටම


අවසන් සුසුම් 

පොදි බැඳගෙන

උනුසුම් සුලං ධාරාව

දසතින් හමද්දී

ගස් කොලන්

මහ පොලව 

සිපගෙනම 

අවසන් ගමනේ


වෛරයේ ලැව් ගින්න 

ඇවිලී තැනින් තැන

තන නිල්ල කලු ගැහී

මහ පොලොව ඉරි තැලින


සාමයේ සඳ කිරන

ලැව් ගිනි දුමින් වැසී

මුළු ලොවම ඝනදුරෙහි 

සැඟවිනි




හෙටත් සඳ පායාවී


හෙටත් සඳ පායාවි

මගේ ගෙපැලට උඩින්

සඳ එලියෙ මා එක්ක

තනිවෙන්න ඔබ කොහිද


තරු වියන අහසට ඇවිත්

සරසවන මේ රැය පුරා

ඔබ යලිත් එනතුරා මම

තරු ගනිමි මිදුලට වෙලා


ඈත තනි තරුවක් වගේ

පාලු අහසේ තනිවෙලා

හුදෙකලාවටම පෙම් බඳින්නෙමි

ඔබ නොමැති මේ රැය පුරා


ඔබේ රුව කෑ ගසා ඉල්ලන

අඳුරු රෑ හද ඉකිගසා

මතක සිඹිමින් සනසවන්නෙමි

මගේ හද කාටත් හොරා



     

විවාහය


ගැලපීම් දෙක තුනක් පෙන්වා

සුලැඟිලි එකිනෙකට එක්කොට

නොපෑහෙන ඇගේ සිත

මතු දිනෙක ලංවනු පිනිස

ලං කොට බැඳ තැබූ


ඒ හුයම අද


ගතින් අප දෙදෙන එක් කොට

නොගැලපෙන තැන්

මතුපිටට ගෙනැවිත්

ගැලපීම් කනපිටට හරවා

පෙන්වයි දුරස් බව අපගේ

බැඳීම් පුපුරුවාලන රිදුම් මවමින්



ගායනය

 

ගිටාරයෙන් වැයෙනා ස්වර

ඔබෙ හඬ සමගින් තරඟෙට

මිහිරි හැඟුම්  මවනා විට

ඒ ස්වරයෙන්  කුළු ගැන්වී

සංගීතය පරද්දමින්

මතුවේ ගී ඔබේ මුවින්

 

ප්‍රේක්ශකාගාරය දැන් 

අඩ අඳුරේ නිසොල්මන්‍ ය

එක් එලියක් පමනක්

වේදිකාවෙ ඔබෙ මුහුනට

 

සන්සුන්‍ ය ඒ මුහුන

ගයයි ගීතය වැදී දැහැනට

ඇසී ඔබේ ගී හඬ

සිසිනිදු පිහාටුවක් වුව 

සෙලවේ තාලයට

 

ඉඩ හරින්න හැඟුම් වලට

සිරුර පුරා පීනා ගොස්

ඇඟිලි තුඩු අගින් තාලෙට

ගිටාරයෙ තත් පිරිමදින්න

 

ගීතයෙ ඇති වර්න රටා

ඔබේ මුහුනට එපිටින්

මවන්නේය ආත්මයක්

දුකින්  හඬා වැලපුම්ලන

 

ඒ මොහොතෙහි දැනේය

වැලපෙන ඒ මුහුනත

මා හදවත නොවේමදැයි

අප දෙදෙනම එක හිත් ඇති

සිරුරු දෙකක් වගේ නොවෙද

ඒ සිරුරට

ඉඩ හරිනෙමි කිමිදෙන්නට

හදවත් විල පුරාවටම

 

කාලයෙ වැලි තලා අතර 

සැඟවී ගිය පැරනි මතක

හෙමි හෙමිහිට මතු කරගෙන

අගුළු දමා වසා දැමූ

සියුම් අංශු කොනිත්තමින්

නහර පුරා විනිවිදිමින්

කිති කවයි

නෙතේ වියලී තිබුනු කඳුලක්

 

තව මොහොතක්

ජීවත් වීමට

අලුත් බලාපොරොත්තුවක්

ඉපදී ඇත ඒ සමගින්

 

සන්සුන් නැත මා හදවත

දැහැන් බිඳී සිතුවිලි 

ගඟ පිටාර යයි

සිතු අතකට

 

සැබෑ මුහුන ඔබේ ගයන 

බලනෙමි මම වේදිකාවෙ

නිසොල්මන්‍ ය කඳුලක් නැත

ඒ ගීතය ඉපැද්දවූ 

සහෘද වූ ආත්මයම

මා අසලින් මගෙ තනියට


 

ඉතින් රොබරෝසියන් 


ඉතින්‍ රොබරෝසියන්

පිපී කුමටද ලස්සනට

එහි හැඩ කියන්නට 

කවියන් නොමැති වූ කල


බිම වැටුනු මල් පෙති

ඔහේ පරවී යනු ඇති

පෙම්වතුන්ගේ පා පහස 

නොලැබී කිසි දාක


මොහොතක් ඉවසන්න

මඳකට නවතින්න

නොපීපී පොහොට්ටුවක් වී

අතු මතම ලැග ඉන්න


වසංගත ලෙඩ පැතිරී

යුද ගිනි දැල් ඇවිලී

මිනිසාට හරි කරදරය

ඉඩක් නැත නුඹෙ හැඩ බලන්නට


එහෙත් ලඟ ලඟම දිනයක

මිනිසා ජයගනී ඒ කරදර

ඒ දිනෙහි අතු අඟින් සුපිපී

ඔවුන් හට හිනැහෙන්න 


තවත් කවි ලියවේවි නුඹ නමින්

එදිනෙදි අලුත් රසවත් ලෙසින්

පෙම්වතුන් දොඩමලු වනු ඇත

වෙනදාටත් වඩා සතුටින්




 තනි තරුව නොහඬන්න


නනි තරුව නොහඩන්න

එපා අහසින් බැස යන්න

තවත් ඇති නුඹ වගෙම

බොහෝ අය

පොලෝ තලයට වී

අහස දෙස බලාගෙන


ගව් ගනන් දුරින් ඉපිද

නොහිමි බව දැන දැනත්

සඳ කුමරිටම පෙම් බැඳ

සිත් රිදුම් හිත් තුල දරාගෙන

තනිව  

පැතුම් අත් නොහැරගෙන

ඒ දෙසම බලාගෙන

තවත් අය ඇති නුඹ වගෙම


තනි තරුව හිනැහෙන්න

නුඹ වගෙම තනිවුනු,

මිනිසුන්ට

තරු ලකුනක් ව බැබලී

පැතුමන් දල්වන්න.




රාත්‍රිය මම වෙමි


රාත්‍රිය මම වෙමි                         

ඔබට නිදි සුව ගෙනෙන

දිවා කල වෙහෙසී

කාන්සිය දිය කර හරින


තරුවැල් අහසෙහි බැබලී

ගං තලයේ රටා මවන

සඳෙහි සිටින හා පැංචා

වලාකුළු අතර සැඟවෙන

 සැනකෙලි ලොව නිවා දමමි…


අවදිවුනොත් නුඹ සැනෙකින්

බිඳ දමා සුව දැහැන්

වරනු ඇති නිදි,අසිරිය විඳිමින්

කාන්සිය දරාගෙන


නිවා දමමි, සඳ තරු එලි

ඇයට නින්ද අහිමි කරන


අහම්බෙන් හෝ නුඹ ඇහැරී

නිදි සුව බිඳුනොත් මොහොතක

සුලං රැලක් වී ඇවිදින්

නුඹ නලවමි තොටිල්ලක

යලිත් සතපවන්නට


දනිමි නුඹ විදින දුක් කරදර

ඉරේ රැවුම් වලට හසුව

ගත වෙහෙසා වැඩපල තුල

දිවා කලෙහි එක් රැස් වූ

සියලු විඩා නිවාගන්න


රාත්‍රිය දිගු කල නොහැකිය,

ඉතින් 

මම වී නිශා යාමය

නිදි දැහැන් බිදින

තතු අවුරා

සුව නින්දක් නුඹට පුදමි.




අමතක කිරීම


ඔක්කාරයට එන කටුක ගඳ

ඈත මෑත නොපෙනෙන දුමාරය

අතරින් පියනගමි  

දුක් වේදනා පුරවාගෙන

අඳුරුම කෙලවරේ ඇති

පාළු මේසයකට


ටිකෙන් ටික හිස්වන 

මීවිත පිරුනු වීදුරුවෙහි

ඔබේ හ‍ඬ දිය කරමි

නැගෙන දුම් කැරලි අතරෙහි 

ඔබේ රුව සගවා

දැවී යන සිගරට් කොට

තුල

ඒ මතකය අළු කරමි


සිතට වදදෙන මතක 

පලවා හැර

පාව යමි  නිදහසේ

සැබෑ ලොවින් ඉගිලී

වලාකුලක්වත් නොපෙනෙන

ඉමක් කොනක් නොපෙනෙන

හිස් අහස පුරාවට


වීදුරුව හිස් වන විට

පියාපත් අබලන්ව

ඇද වැටේ සැනෙකින්

නුඹේ මතක කඩු තුඩු පිරි

පොලොවට


තුඩු ඇනී දැනෙන රිදුම් සමගින්

ඔබේ රුව හෙමිහිට මතුවේය

දුම් වලා අතරින්



වැලඳගැනීම


වැදී ඔබ සිසිනිදු පහස

හද සැලෙන තාලයට

නටන ඇගෙ කෙහෙරැල්ල 

කිතිකවයි මා දෙතොල්

මුමුනන්නට ඒ ආදරය 

හද තුල උතුරා ගලන


කියන්නට ඒ හසුන 

ඈ සුරත තදින් අල්ලාගෙන

ලංවී මුව මඬල වෙත,

මහත් උවමනාවෙන්

නිල් නයන දෙස බැලූ කල

සසල විය සිතිවිලි නැවතත්

දෙතොල් පෙති ගොලු කර


ගොලුව ගිය දෙතොල් 

විවර නොකරම

වැලඳගතිමි ඇය 

සෙනෙහසින්,

වචන වලට වඩා හැඟුම්

හදවතට සමීප නිසාම



කවි නොලියන හෝරාව


ඉර මියෙන සැඳෑවක

කොල පැහැය ඉහිරුනු උයනක

ඔබේ අතගෙන ඇවිද යන විට

නැගෙන කවි පද 

කොහේදෝ තිබී සොයාගත්

කොල කැබැල්ලක අමුනන විට


දෑතේ එල්ලී

යාන්තමට කොනිත්තා

මුරන්ඩුව ඉල්ලන්නීය නුඹ


නුඹ වෙනුවෙනුත් කවියක්


නිදි වරා තුන් යමට

පදවැල් ගොතා එකිනෙකට

කවියක්  පලකල විගසට

ඇවිටිලි කරයි නුඹ


"අනේ මා වෙනුවෙනුත් කවියක්"


මා පිලිතුරක් දුන් විට

නුඹ වෙනුවෙන් කවියක් ගොතන්නට 

පදවැල් මදිය මට.

නෝක්කාඩුවෙන් ඈ හැරේ ඉවතට

අවනඩුව මුහුන තුල සඟවගෙන

පවසයි

"කවි ලියනවා හැරෙන්නට 

මා වෙනුවෙන් කොහිද කාලයක්"


ඉතින් මා කවි ලීම මඳකට නවතමි.


සොඳුර පිලිගන්න,

මේ කවි නොලියන හෝරාව

නුඹ වෙනුවෙන්

ජීවිතයම ලියන්නටය.




රාත්‍රිය තව ටිකක් දිගුවෙන්න


මම පතමි රාත්‍රිය 

තව ටිකක් දිගුවෙන්න

අතැඟිලි ලිහී ගිය 

කාරනා විමසන්න


දිවා කල පුරාවට

පටලවාගෙන අතිනත

නුඹ සමග ඇවිද ගිය

වෙහෙසකර දුෂ්කර

ගමන් මග දෙස

ආපසු හැරී

වැරදුණු තැන් 

සොයා බලන්නට


මම පතමි රාත්‍රිය 

තව තවත් දිගුවෙන්න

හෙට නැගෙන අරුණැල්ලට

සුබ සිතින් සැරසෙන්න




තව සොහොනක් තැනේවිද ඉතිං??


රැකියාවක් නොමැතිව

ගෙදර ප්රශ්න උහුලාගෙන 

හූල්ලමින් ඉන්නා විට


දෙවනි ලෝක යුද්දෙ මැද්දෙ 

සීයේ නුඹ ගිය පාරෙම 

ඇදී ගියා මං


හීන ගොඩක් පොදි බැඳගෙන

තුවක්කුවත් කරේ තියන්

හිත ගැහි ගැහි යුද්ධය වෙත පිය මැන්නා දැං


පේවී "ආරක්ශාවේ" සිල් පදයට

අපි වගේම මිනිසුන් වෙත

තුවක්කු කඳ මානාගෙන බලන් හිටියා මං


ඉහලින් එන අණ රැකුමට 

පිට පිට වෙඩි තියනා විට

ලේ කැටි විසිරෙනු දැක සිත නොසැලුණා නොවේ ඉතිං


මිනිසුන් රැකුමට ආ අප

පුහුණු කලේ නැසුමට බව

ටිකෙන් ටිකට මගේ හිතට තේරුනා සෙමින්


ඕටී නැත නිවාඩු නැත 

දින ගණනක් හාමතේය

හීන අහුරු බොල් හුළඟට වීසි කලා මං


‍යුද ගිනිදැල් ඇවිලීගෙන

වෙඩි පිට වෙඩි වදිනා විට

මගේ හුස්ම වා තලයට විසිරුණා සැනින්


දෙපයින් යුදයට ගිය මම

කර මතින් නිවසට එන කොට

අම්මා අක්කා බිම හැපි හැපි වැලපෙනවා දැං


රට රැකුමට ගිය පුතු ගැන

අනිත්‍ය බව සිහි කරමින්

හාමුදුරුවෝ පවුලේ අයට බණ කිව්වා ඉතිං


අතු වැහැරුණු නුග ගහ යට

සීයේ නුඹෙ සොහොන ළඟින් 

මගේ මිනිය හතර රියනෙ වල දැම්මා උං


දහස් ගණන් මිනී මතින්

රතු පාවඩ පලස මැදින් 

යුද ජයග්රහණයේ ප්රීතිය සමරනවා උං


සීයේ අපි දිවි පිදුවා නොවේ රටට

කිරුල දරන්නට පොරකන 

ලේ රසට ලොබ වුනු රැලකට ගොදුරු වුනා ඉතිං


සීයේ අපෙ මරණින් පසු

නිමාවුණා නොව යුද්ධය

තවමත් යුද ගිනි තැන තැන අවුලනවා උං


සියක් දහස් බොරු ගොතමින්

යුද බිම වෙත දක්කනකොට

හෙට දවසෙත් උන් වෙනුවෙන්

සීයේ අපෙ සොහොන් ලඟින් 

තව සොහොනක් තැනේවිද ඉතිං??




ජූලියන් අසාන්ජ්


ඔහු

දඩුවම් ලැබ ඇත

හෙලි කල වරදට

සත්‍යය


වධකයින්

ඔසවාගෙන (අ)නීතියේ අසිපත

බොරු චෝදනාවෙන් මුවහත්කොට

කැන්දා යයි ඔහුව

දංගෙඩිය වෙතට

භාෂණයේ නිදහසද කැටුව

ගසමින් මළ බෙරය

ජරපත් ක්‍රමයක

අනතුරු අඟවමින් 

හෙලිදරව් වූ අපරාධ

පමණක් නොව

කරන්නට සැරසෙන දෑ පිළිබඳවද




ත්‍රස්තවාදීන්??


*2019 මුස්ලිම් ජනවර්ගයට එරෙහිව වර්ගවාදීන් එල්ල කල ප්‍රහාර සම්බන්ධයෙනි


“ත්‍රස්තවාදීන්” යැයි නම් කොට

කුලී ගෙයින් දොට්ට දැමූ මොහොතෙහි

ඇදිවත පමණක් තුරුළු කර

පිය නැගුවෙහිද සොයා තවත් රැකවරණක්


ජීවිතය පුබුදුවාගන්නට 

ගොඩ නැගූ සියළු සිහින විසි කොට

යාන්තමින් දිවි රැකගන්නට


සඳ මඬල සේ හිනැහුනු 

මුව මඬල

අඳුරු වලාවකින් වැසී

සුළං රැලි සමග කරට කර දගකල

කෙහෙරැලි

ශෝකයෙන් බරව කුලෑටි වී

සුමිහිරි තැන් බලා හිනැහුණු

තරුනෙත් යුග 

රැකවරණක් සොයා වෙහෙසෙනවද


අන්ධකාරයට මුවාවී

බෙදුම්කඩනයන් අඳිමින්

ගොදුරු සොයා ඇදෙන රකුසන්

“මුස්ලිම් විරෝධයේ”

දත් විලිස්සමින් පියවර මනිනා හඬ

ඇසී රෑ සිහිනෙන් හඬනවාද


කඳුලු කැට බර වැඩිවී පහතට 

නැමුණු මුහුන ඔසවා බලනු

ඈත අහසෙහි 

පුංචි තරුවක් පායා එනු ඇත

අන්ධකාරය පලවා හරින

හිරු විලසින්




නාස්තෙන්කා!


නාස්තෙන්කා,

එනවාද නැවතත්

රෑ නවයෙ කනිසමට

හිරු නොබසින රැයක

එදා අප දොඩමලු වූ

මේ බංකුව මතම හිඳ

බෙදාගන්නට දුක සැප

අසන්නට 

“සිහින දකින්නෙකුගේ ජීවිත කතාව”


නාඳුනන මා මුණ ගැසුනු පළමු රැයෙහි

දන්නාඳුනන ලෙස කතා කල සැටි

සිනාවෙන් බර මුහුණ පහතට නමාගෙන 

ලැජ්ජාබරව රත් පැහැගත් කොපුල් සැඟවූ සැටි 

වෙවුලන දෑතින් ඔබ දෑත පටලා

සක්මනේ ගිය සැටි

මතක පොත පෙරලා යලිත් කියවන්නට


කිසිවෙකුට නෑසෙන කොනක 

බංකුව මත හිඳ

ජීවිත කතා අසා උන් හැටි

කළුවන් ඇසි පිය මත 

මැණික් කැට රඳවමින්

මා සුරත ගෙන පරිස්සමට

කඳුළු කතාව මිමුණුව සැටි 


රෑ මැදියම ගෙවෙන තුරු

අත් පටලා ගෙන 

දොඩමලු වූ සැටි

හද කවුලු විවර කර


යන්තමට කොහෙන් හෝ වැටුණු

පහන් එලියෙන් දෑස බලාගෙන

ලිහී නොයන සේ සුරත තදින් ගෙන

රැය පුරා ආදරය කෙඳිරූ හැටි



සඳේ එලියෙන් 

මං මාවත් දිගේ ඇවිද

ගියෙමු

පෙම් බස් දොඩමින්

සිහින මවමින්


එහෙත්,

ඔබ යලිත් නොඑනු ඇත

මා හා ගෙවන්නට ඒ දවස්


ඔබ හා ගතකල දිනයන්

සතුට පිරි දිනයන්‍ ය

හුදෙකලා මා ලොවට


නාවාට කම් නැත

නුඹ හා ගෙවුනු

ඒ ප්‍රමෝදයේ 

එක් මිනිත්තුවක්

හොදටෝම ඇති මට

ජීවිතයටම සෑහෙන්න




ඉගිලුනු කිරිල්ලිය


කිරිල්ලියක් සේ

මගේ ලොවින් ඉගිලුනු නුඹ

පියාඹනු මැන

නුඹේ විජිතයට

ආපසු හැරී නොබලාම


හිත රිදවන

කටුක මතකයන්

බර වැඩිය තටුවලට

ඒ මතකය තබා යනු මැනවි

මා සමගම

නිල් අහස පුරාවට

නිසංසලේ සැරිසරන්න


ආකාසේ පියඹන විට

සුළං කෝඩ බාධක මැද

බොඳ කරමින් පෙනෙනා ඉම

මතුවන කඳුළැලි හෙමිහිට

එවනු මැනවි මා අසලට

ඒ පමණක් ඇති

නිතරම ගිනිදැල් ඇවිලෙන

මගෙ හදවත නිවාලන්න



සමාවුව මැන


මුනිවත රකිමින්

තරු නෙතු අගින්

ගිලිහී

මල් පෙති මතට ඇද හැලෙන

කඳුලු කැට පිස දමන 

කුමරිය

සමාවුව මැන

මලක් සේ මොලකැටි

නුඹේ හදවත 

බඹර තුඩු අගින් රිදවූ වරදට


දැනුනේම නැහැ 

නුඹ මලක් බව

ඇසුරු කෙරුවත්

මෙතරම් කාලයක්


සුමුදු මල් පෙති

තැලෙන පොඩිවෙන

‍රිදී සීරී කඳුලු මතුවෙන

රැවුම් ගෙරවුම් මගෙන්

ලැබුනා නොවෙද නුඹ හට


සමාවුව මැන

නොයෙක් බාධක අතර

රුදුරු මග ඇවිද යන විට

දැනුනු දුක් ගින්දර

නුඹ හමුවේ පෙන්වුවාට

 

දුරස් කර ඇත 

අප දෙදෙන 

මුහුණදුන් කම්කටොලු

ජීවිත ගමන තුල

එකිනෙකා හඳුනාගත නොහැකි තරමටම




කොවුලනි නොගයන්න


කොවුලනි නොගයන්න

තවත් වසත් ගීය

වසන්තය ළඟ ළඟම 

එන බව කියමින්


නීරසය ඒ වදන් 

දැන් නම් දෙසවනට

නුඹ,

උගුර ලේ රහ වනතෙක් 

කෑ ගසා කීවද

ගතවූ වසරකම

වසන්තය නම් 

ළඟ පාතකවත් නැත


වැඩපලේ,

කොඳු කැඩෙන වැඩ තොගය 

වෙහෙසෙන තරමටම වැටුපක් නොලැබේය

සීත පුටු රත් කරමින් මහ උන් තරවේය.


මට නම්

අවුරුද්ද

තවත් එක දවසකි

ගෙවී ගිය දින ගනන්

වාගේම

කටුකය ගිම්හානය සේම


එරබඳු මල් සුපිපෙන්න

තව තවත්

අතු අගට වී 

රත් පැහැයෙන් බබලන්න

පවසමින්

අපගේ කඳුළු කතාව

ලේ කදුලු දිය කර හරින.




සිත ඔබ පසු පසම

  

පොතේ පිටු අතර ඔබේ රුව සොයමින්

කුරුළු ගී හඬ අතර ඔබේ හඬ අසමින්

දිලෙන තරු කැට අතර නිල් නුවන් සොයමින්

රැයේ සිහිලස සමග ඔබේ උණුසුම යදිමින්

සිත ඔබ පසුපසම…..


භාවනාවෙන්

සිත එක්තැන් කර ගැනීමට සිතුවෙමි

එහෙත් සිත ඔබ පසුපසම….

දුර ඈත දුවමින්

නොනවතින ගමනක


දස අත දිව යන

සිතුවිලි කැටි කොට

ඔබ වෙතම

බන්දා තබන

මොහොතක් එනු මැනවි මා වෙතට

ඔබට පමණක් කීකරු 

මගේ සිතුවිලි දමනය කරන්නට.



සුරංගනාවිය 


මටම අවනත නොවී 

පහතටම ඇද වැටෙන හිස

යන්තමට කෙලින් කර

එකින් එක ඇලවෙන ඇසිපිය

හැකි තරම් විවර කර

අතින් ගිලිහී යමින්

කඩදහිය මත 

බලිකුරුටු ඇදි පෑනද

පසෙකින් තබා 

බැලුවෙමි මිදුල දෙස


සුරලොව සිට ආ

සුරංඟනාවක්

හඬ නෑසෙන්නට

පියවර මනිමින්

සක්මන් කරමින් ගෙමිදුල මත


හෙමි හෙමින් පියවෙන 

නෙතු අතර 

ඇවටිලි කරමින්

නිදිබරව

උදාසීන වූ සිතුවිලි

සොරා ගනිමින්

හදවතට පිබිදුනු ආදර සිතුවිලි

ඇතුල් කරමින්

සුරලොව සිට ආ සුරංඟනාවිය

වීය මොහොතකින්

මගෙ ලොව සුරංඟනාවිය


මා හද පතුලින් උතුරා 

ගලනා ආදර ගීතය

පන්හිද තුඩගින් 

කඩදහිය මත

ලියැවින

කවියක් විලසින්


මා ළගටම ආ සුරංඟනාවිය

ළමැදේ හොවා 

මා සුරතල් කරමින්

දඟකාර ඇගිලි තුඩු අගින්

හිස පිරිමදිමින්

රන්වන් සලුවෙන් 

පවන් සලන්නට විය

මුලු ජීවිතයම

ඈ ළඟ නැවතී

හෝරා ගත විය නොදැනීම


අලුයම එළඹී

හිරු රැස් වැටෙද්දී

ඉගිලී ගියාය ඈ

නොකියාම මටත් හොරෙන්ම

මගේ හිතත් ගෙන

ඇගේ ලෝකය වෙත

හදවතේ රැඳුණු ආදරය

බර වැඩි වූ නිසාම

ඉගිල යන්නට නොහැකි විය

ඈ පසුපසින් ඈ සිටින ලෝකයට


කෙසේ යන්නද ඈ සිටින ලොව වෙත

මග නොදැන

අවසානයේ මට උරුම

ඇය මෙහි ඉතිරි කර ගිය

මතක සලුව පමණිය…...




සිත්තරාවී


නිල් නුවන් තරු කැට අගින්

හිනැහෙමින්

සිත් අහසට ඉගි කරමින්

ජීවිතය මත 

නොමැකෙන සිතුවම් අඳිනා


සිතේ පෙර ඇදී ඇති

තනිකමේ බලි කුරුටු

මකන්නී ආදරෙන්

මහත් වූ සෙනෙහසින්


මගේ ලය මත හිස තබාගෙන

පාට රතැගිලි තුඩු අගින්

පිරිමදින්නී හදවත

සිතුවිලි පින්සල් පහරින්

පෙම් රටා අඳිමින්

නේක වර්ණ කැටි කරගත්

හැඟීම් පාට කූරූ

මගින් 

ජීවිතයම ඔප කරමින්

නොමැකෙන සිතුවම් 

අඳිනා

නුඹයි මාගේ සිත්තරාවිය…..




නිමා වූ වසන්තය


මුල්වරට
නුඹ මුන ගැසුනු දා
කොවුල් සර අවදි වී
මා හදේ වසන්තය අවදි විය.

මා ඔබේ ලොව තුල නැති බව
පැවසූ පසු
වසන්තය නිමවී
කොවුල් සර ගොලුවී
රුදුරු කටුක
ගිම්හානය ඇරඹිණ.

ගිම්හානයේ අග

නොසිතූ මොහොතක
ඔබ පැමිණ කීවද
මට ඇළුම් කල බව

එහෙත් කුමරිය

වසන්තය නිමාවූ පසු
ඔබ පැමිණ කීවද
මා ඔබේ කියා සොදුරිය
නිමාවූ වසන්තය යළිත් පිබිදේවිද

වසන්තයේදී ඔබේ පෙම පතාගෙන
තුරු අතරට වී ගී ගයමින් සිට
සැතපෙන කොවුලා යලි පිබිදේවිද

සිත් අරණ තුල පිපුනු පෙම් මල්
වසන්තයට පසු පරව ගොස් අද
කටු පදුර පමනක් ඉතිරි වී ඇත

දිය පහස පතා සිට වසන්තයේ අග
පවස දරාගෙන මියැදුනු ඒ පෙම
ඔබේ වදන් පොද වැස්සෙන් යලි පිබිදේවිද??




මා ලියන කවි අතර


මා ලියන කවි අතර - නුඹ හිඳී සැඟව

කවි ලියන හැම විට - නුඹ නැගේ සිහියට

නුඹ මතක් වෙනකොට - හිත දුවයි ඉවතට

සිත රැඳුනු විට ඔබ ලඟ - කඳුලු එයි නෙතගට


කවියෙන් අඩක් ලියූ තැන - මතක පොත ඇරේ හෙමිහිට

වසා දමා කවි පොත - දුවන්නෙමි ඉවතට

කවියෙන් දුරස් වූ විට - සිත කියයි මෙලෙසට

කිසිදාක හිමි නොවන - සුන්දරම කවිය ඇය


කවි ලීම මෙතරම් - දුකක් යැයි සිතුනද

ලියන්නේ නොවෙද මා - හෙටත් මේ කවියම

කවි කෙතෙක් ලීවත් - කිසිදාක අත් නොහැරෙන

නුඹයි ලා හිරු කිරන - කවි සිත ඇහැරවන



සඳ දියේ හැපී


සඳ දියේ හැපී 

පෙනකැටි බිඳේ

සිතුවිලි මගේ 

දැහැනින් බිඳේ

තරු කුමරියේ 

ඔබ වෙත ඇදේ


පිනි බිඳු වැටී

සිහිලස දැනී 

ඔබගෙන් ලැබූ

සෙනෙහස මැවේ


වෙරලෙහි ගැටී රල

සිතුවම් අඳී

සිහිනෙන් වගේ 

ඔබෙ රුව ඇඳේ


පිපි මල් වැලේ

සුවඳින් ඔබේ 

සුලඟින් මගේ

හද කිති කැවේ


කෙහෙරැලි ඔබේ

මුහුනත මගේ

දඟ කල සැටි

අද මෙන් දැනේ


 මතකය ඔබේ 

 දැවටී සිතේ 

 කඳුලින් මගේ 

 දෙනයන තෙමේ



.
































No comments:

Post a Comment