කෙටි කවි

මීදුම් සගයා කනට කෙඳිරූ යමක්

සරදමට මෙන් විත් 
දැවටී නුඹ සියොළඟට
රුදුරු සීතල හී අගින්
දැදුරු කරමින්
පාරවන්නේ හදවත
අමතකව ගිය
ඇගේ උණුසුම
සිහිවනු පිණිසය
යලි යලිත් ඔබ හට

මහ ගඟ

සදනුව රිසින් පොඩි පැල හැඩි දැඩී    ලෙසිනී          
පල නැති රුක් වෙතත් වෙහෙසා සවිය     දිදී
ගසකට තවත් සරනක් වනු බිමට        නැමී
මහ ගඟ ගලයි කිසිවක් නොවු ලෙසට     ඇදී
 

වැස්ස

  චුරු චුරුව ඇදහැලෙයි උදේ සිට යුහුසුලුව

කඩිමුඩිව වැහි කබා එලි බසියි කඩිසරව

විශාදය 

කලු වලා කැරලි අතරින්

නිල් වලා මේඝ දූතයෝ සමග

කරට කර

බැස යන ඉරෙහි 

රත් පැහැය එබී බලන සැඳෑවක

මට පෙනෙනුයේ

රිදී රේඛාවක සලකුනක්වත් නැති 

කලුම කලු අහසකි.


වසන්තයේ අග

කිලිටි වේ යැයි බියෙන්
කහ මල් අතුල
බරැති වටිනා උඩු සළුව
උනා දමා හනිකට
තුරු කුමරි මාරුවේ
පලා පැහැ
හුරු පුරුදු ඇඳුමට 

අමතක නොවේ


අමතක නොවේ මට

රත් කොපුල

මත් දෙතොල

මත අපේ මුදු ගැටුම

අතර මග යා වුනු

දිගු ඔබේ

 

නිල් න ය න

ලූ 

       බැ  ල්  ම

වෙන්වීම


ලිහී බැඳි අතැඟිලි

පා නගද්දී ඉවතට

නැගූ ඒ සිනා රැලි

කෙලි ලොල් කවටකම්

‍රැඳි ඔබේ මතක වත

යවා බඳවට දෙඅත්

හනිකට තුරුලු වෙයි


වැහි කඳුලු

ඉසිඹුවක් නොමැති තැන දරා කලු වලා  ගැබ 
නෙත් සලා මුදා හල බරැති වැහි කඳුලු  පොද
 කෙහෙරැල්ලක් වත් රඳනු බැරි මුදු    කොපුල
අත් හරියි මැකී යනු පිනිස වැද පොලෝ   තල

සඳක් නොව ඔබ රැයෙහි දිදුලන

ඉරේ රැස් ලැබ එලිය විහිදන

ඉරකි ඔබ මට දිවිය සරි කල

නිශාවෙත් සඳ වී එලිය දෙන



වරා මල


නුඹ මුවින් මතුවන 

එක් කුඩා වදනකටත්

ආදර සුළං රැල්ලට මුසුව

බොහෝ දුර ඈත පියඹන

වරා මලකි මම 



ඉල්ලීම


ඔබ කලත් කොතරම් ඇවිටිලි..

සොඳුර,

මා අත තිබෙන්නේ 

පිපී හිනැහෙන රෝස මලක් නොව

කටු ඇනෙන ඇනී හිත රිදවන

වසන්තයේදීත් මල් නොපිපෙන

කටු ඉත්තකි.

මට එය ඔබට දීමට නොහැකිය..



ප්‍රථම ප්‍රේමය


ප්‍රේමයේ ඇටකටු

පෙට්ටියකට දමා

නැවත නැගිට ආ නොහැකි ලෙස

ඇන ගසා වැලලූ

සතර රියනෙහි

බොහෝ කලකට පසු අදටත්

වල් වැදුනු බිම් කඩෙහි

මතක වැහි පොද වැටී

ප්‍රේමයේ සුදු මිනි මල්

තවමත් සුපිපේ ඔබේ නමින්ම



වාරනය

මම වර්නවත් වූ ලෝකයට

කැඩපතක් ඇල්ලූයෙමි,

දැන් ඔබ 

කැඩපත බිඳ දමා

ඒ ලෝකයම තනි වර්නයකින්

සීමා මායිම් තුල

ප්‍රතිනිර්මානය කරන්නට

මට අන කර ඇත



වැහි…?


වැහි වලාවක් නොමැති අහසින්

නිල් සළුව ඉරාගෙන විත් 

වැටෙන මහ වැහි

කොඳු නමන - බෙලි කඩන 

කෙත් බිම් නිසරු කරවන 

පොද වැහි

කළු දුම් රොටු ඉහල නංවා

පොලෝ ගැබ ලෙයින් නහවා

වහින වැහි

ගාසාවට වහින වැහි



කෙටි කවි

 

පුංචිම පුංචි

අත්තටු දෙකක්

ඇති පුංචිම 

කුරුල්ලෝ 

ලොකුම ලොකු 

අහස පුරා පියඹති 

ලොකු තටු සහිත 

කුරුල්ලන්ටත් වඩා



අතීතය නොස්ටැල්ජියාවක් නොවනු පිනිස


නොවී ඉරබටු තරුවක් 

නිශ්ක්‍රීය රාත්‍රියකට පෙර

 නැගී අමතකව යන 

පහන් තරුවක් වෙන්න 

ජීවිතයට මග පෙන්වන



කැකුළු මල් තලා කහවනු උපදවීම


{*පුවතක් - පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා කිරීමට අවසර දෙයි.

ළමයින් රැකියා කිරීමේ පරිසරයට හුරු නොවීම නිසා ගැටලු රැසක් මතු වී ඇත}


වැඩිහිටි මල් යාය මිරිකා

පෙලා හප කර

ඉස්මුරුත්තාව හැදෙන තෙක්

කහවනු පැස තරකරගත් 

විස බඹරු,

ලෝකය ගැන ඉගෙන 

හෙට දිනය සරසවන්නට

හෙමින් පිබිදෙන

මල් කැකුළු තැලීමට සැරසෙති

තවත් රොන් මඩි

පුරවගන්නට



උනුසුම් වචන හුවමාරුව


දෙපසින්ම

දෙපසටම 

අපරීක්ෂාකාරීව 

දමා ගසන ලද 

හී තුඩු ඇනී 

වේදනාව ගෙනේ 

ගතට නොව සිතට



කොහාත් ඇති දිග පෝලිමක


පෝලිමක හත් පැයක් ලැග හිඳ

කොවුල් හඬ කලෙකින් නොඇසු බව

අයෙක් විමසයි විඩා නිවමින්

මිනිසුන්ගේ දුක් අසන්නට ගොස්

කොහාත් ඇති දිග පෝලිමක



නුඹ


ලියා අහවර

බොහෝ කවි මැද

නුඹම කවියකි

තවම ලියැවෙන



මරලතෝනිය 


වෙඩි උන්ඩ 

හඹා යති මිනිසුන් 

මරු විකල්ලෙන්



මොටෝ රියක හිඳ


තෙරක් නැති අහසේ හමුවන තුරු එහා ඉම

හඹා යමි,  ඉගිල්ලෙමි ඔබේ සුරත අරගෙන



වැරදුනු කවි 


වැරදුනු කවිත්

ලියැවේ නොනැවතී



කතා කරන ඇස් 


ඔබ මුවින් නොයෙක් දේ කියයි

නමුත් ඇස් ඊට වඩා බොහෝ දෑ දොඩයි

නිහඬවම.



කා වෙනුවෙන්ද තැනුවෙ විසල් මැදුරු


බෙහෙත් හිඟවී පහල බිම් වල පෝලිම් සැදෙන තුරු

කා වෙනුවෙන්ද ගොඩ නැගුවෙ මේ විසල්     මැදුරු



සංගීත පුටු තරඟය 


*2020 අප්‍රේල් මාසයේ කැබිනෙට්ටුව මාරු කිරීම සහ අන්තර්වාර ආන්ඩුවකට අර ඇඳීම නිමිත්තෙනි


අවමඟුල් ගීය ජනතාවෝ වයනු       දැනී

පාලකයොන්ගෙ පුටු කැරකෙයි වියරු වැටී



දෙනුවරක අරුමය


මෙ නුවර දනන්ගේ සිත් තුල උපදින තැවෙනා   කුසගින්නෙන්

එ   නුවර  දනන් දල්වති එලි වැට නැගෙනා ගිනි දැල්ලෙන්



පෑගෙන සිහි


අහස් කුස පරදවන මාලිගා තැනින් තැන

උන් තනන විට පෑගේය අපෙ සිහින ඒවාට



බුලත් හෙප්පුව


කැබිනෙට්ටුව තුල බලා හිඳි

කීප මසකට වතාවක්

පැතුමින් පිරි මැද ඔප දමා

කල එලි බසිනා හෙප්පුව

පඬුරු නොමැතිව පිරිනැමු

බුලත් අත් කිසිවක් 

නොපිලිගත් හෙයින්

දැන් හොඳටෝම හති වැටී

අගුලු ලෑ පෙට්ට්ගමෙක ගිමන් හරී

දූවිල්ලටම පෙම් බඳිමින්



අනවසරයෙන් ගෙතූ කවි


ඔබ මා සතු නැත

ඔබ ගැන ලියන්නටද මට වරම් නැත

එබැවින් මේ සියල්ලම

අනවසරයෙන් ගෙතූ කවිය



ගින්නෙන් ගිනි නිවීම


සිගරට් කොටයේ කෙලවර

දැවේ හෙමින් රතු පැහැයෙන්

ඒ කොටයෙම 

අනෙක් කොනෙහි

ආත්මයකි  ගිනිගෙන අලුවන.

දැවෙනා සිගරෙට්ටුවෙන්

එ ගිනි නිවීමට වෙහෙසන



නපුරුම කාලේ ආලය


මතකයිද තවමත්

නපුරුම කාලයේදිත්

දුරින් ඉඳ පෙම් කල හැටි

ඔබ රෝස කටු ඇනේ යැයි සැකෙන්

මම බඹර තුඩු රිදවයි බියෙන්,ඈතින්

සිතින් එකිනෙක බැඳෙමින්

ඉතින්,හදින් හදකට ලංවෙන්න

අත් පැටලෙන්න ඕනෙමද?



පැමිනි දුක් පැනි රසද


ගිමන් කල කුරිරුකම් දරාගන්නා තරමටම

ලඟ එන වසන්තය කෙතරම් මිහිරි වූවද

අදටත් වඩා හෙට තවත් නරක බව දැන දැනම

පැමිනි දුක් පැනි රසයි සිතා කෙලෙසින්ද



ඇඳිරි නීතිය


මිනිසුන් සිටී

ජීවිතය විසින්

ඇඳිරි නීතිය 

පනවා ඇති යාමයේදීත්

වයස්ගතව ගිය ගත

කෙසේ හෝ වාරු කර

කහවනු සෙලවීමට

සිරුරෙන් මිරිකා ගත හැකි

තවත් යුෂක් 

ඇත් දැයි සොයන



ඉක්බිතිව නික්මගියෙමි


මැරි මැරී ජීවත් වනවාට 

වඩා

කෙතරම්  මිහිරිද

සදහටම  මියයෑම.



කඳුල


එදා ඔබ ලඟින් හිඳ 

කඳුළු පිස දැමුවද

ඒ කඳුලමය අද

ලඟින් ඉන්නේ තනිය මැකුමට



එපා..!


එපා ඔබ යලි එන්න

සිහිනෙන් හෝ හමුවන්න

ඔබ ඇවිත් පුබුදුවන

මතක මා හිත දවයි



බලා සිටීම


ඔබෙන් පිලිතුරක් ප්‍රමාද වන

ඇසිල්ලෙන් ගතවන

බලා සිටින 

එක් තත්පරය පවා

ගෙවෙන්නේ

ආදරයේ අසීරුම

කාල පරිච්ඡේදයන් තුලය



සිහින කුසුම


කිසිවෙකුත් නාඳුනන බිමෙක 

සුවඳ තවරා ගිය

දිනපොතෙක පිටු අතර හමුවූ

සිහින කුසුමය

නුඹ 

ජීවිතය සරසමින්

අතින්වත් නොඅල්ලා 

ආදරය කියාදෙන..



කඳුළු වලට පෙම් කරමි


මේ කදුළු කැට

තෙත බරිතව දුකම 

පමණක් නොව

ඉන් මිදීමට 

අලුත් බලාපොරොත්තුවක් ද

කැටි කොට 

දිලිසෙන බැවින්

මම ඒවාට පෙම් කරමි..



කඳුළු වරුසාවට පෙර


කඳුළු වරුසාවට පෙර

අකුණු සැරයක් වෙලාවත්

නුඹ හිනැහුණානම්

දරාගන්නට තිබුණි

මේ දුක…



සින්ඩරෙල්ලා


සින්ඩරෙල්ලා…

නැවතත් එනු මැනවි

ප්රිය සාදයේදී 

සොරාගෙන ගිය

මගේ හදවත වෙනුවට

ඔබේ ආලය රැගෙන….



බලාපොරොත්තුව


අඟහිඟකම් අහස උසට

හිත දවමින් නැගෙනා විට

ජීවිතයේ දුශ්කර බව

හද සිතුවිලි පෙලනා විට

බාධක දුක් පීඩා මැද

දිවියේ අරුත බිඳී යන විට

ජීවිතය අලුතින් ලියවන

එකම සිහිනය 

නැවුම් ලොවක් ගැන බලාපොරොත්තුව


ස්මරණය


වසන්තයේ හිනැහුණු

රෝස මල් පොකුර 

ගිලිහී ඉතිරි වූ

ගිම්හාන දුක් ගැහැට

උසුලා තියුණු වූ 

කටු පඳුර

පිරිමදිමි

සියුම් තැන් සීරී

රිදුම් උහුලාගෙන

රුහිරය ගලද්දිත්


නුඹේ සිනහව


නුඹේ සිනහ

මහ වැහි පොද

වැටිලා එකිනෙක

ලය මත

පිරී තිරී හද වැව් තෙර

අගුළු දැමූ හද දොරටුව

කඩා දමා

පිටාර ගොස්

උනුව ගිය ලේ නහර ගංගා

සිහිලැල් කර ගලා යමින් 

මුළු සිරුරම පුබුදුවමින්

නැවුම් පනක් මට ලැබදි

දෙතොල් මතින් ගලා හැලේ
























No comments:

Post a Comment