සිව් පද

  නොපෙනෙන දේ ගැන විමසිලිමත් වන්න


(කවි ලියා හේමන්ත වරු ගැන මැවු මිහිර මම     දකිනවා

පත් හලන මේපල් කුමරියෝ මෙහි උයන් කෙලවර ඉන්නවා

හංසයෝ පිරි නිල් දියෙන් සරි පොකුනු එහි මැද  තියෙනවා

ඈත පෙනෙනා බංකුවේ ඔබ හිඳිනවා ඇති        හිතෙනවා

~මුහුදෙන් එතෙර බිමකට ගිය මිතුරියකගෙන් කවියක්~ )


  වසන්තය පෙරා පැහැයෙන්      වසාගෙන

     සිසිරය  පුරා සුදු හිම සලු පොරවගෙන ‍

හේමන්තය  අරා මේපල් කොල       වහින

  දිගන්තය  නුරාවැනුමට යා යුතු    වේද?

                                                

කෙත් වතු  උයන්  පැහැයෙන   නිල්      දිදුලවන 

රුක්   අතු  ලියන්   නික්මෙන   මල්     විසුරුවන 

ඉන්    සිතු  දනන්      දුටුවන   හිත්      පුබුදුවන  

තැන්  තතු  වලින්    සැපිරුන    බිම්  මෙහිද වින


        වස්සානය  එවන මීදුම් පුර වැලඳ      වෙලී 

        සන්තානය  නිවන  සිහිලස  ගෙන      සරතී

           මිහිරිය මැවෙනු ඔබ උන් කල මම  දිටිමී 

   මේ අරුමැසිය දැක එනුවර සිරි            මැවුනී


ඔබ   බිමෙත්  නොදකින දෑ බොහෝ  තිබෙයි

එයිනුත් වැඩිමනක් නොපෙනෙනු ඇති  නිසැකයි

විමසිලි  ඇසින් බැලු කල ඔබටත්      වැටහෙයි

අප හැම වෙසෙන්නේ එක ලෝකයක   හැඟෙයි

.ලි

හුඟක් ලෝකේ මග හැරෙන නෙක සුන්දරම තැන් තියෙනවා

බිඳක්  හෝ ඉන් දැකීමෙන් ජීවිතයේ රස ඉම්      මැවෙනවා

හෙටක් ගැන මිහිරෙන් පිරී ගිය හැඟුම බිඳ ඉන්   වැඩෙනවා

මදක් හොදහැටි බැලුවොතින් හැමතැනම අපි  ඉන්නවා


යුග දිවියට පා නගන සවසක


සුදු සේල, වෛවර්න සිල්ක් සාරි පිරුනු            දවසක

තරු බලා නැකැත් කරුවන් ලියා දුන්               වරුවක

මවු පසින් පිය පසින් නෑසියන් අතරේ              ගිවිසන

අත්සනින් දිවුරූ පොරොන්දු පත්‍රයක්මද විවාහය


අප දෙදෙන එක් අයෙක් නොවේ මින්             මතුවටත්

දෙදෙන දෙදෙනෙක්ම වේ සිතැඟි පෑහෙන මුත් වෙනස්

තව බොහෝ දුර යා යුතුයි පමනි මෙය          ඇරඹුමක්

මේ වගෙම එකට පා නගා යමු බෝ                දුරක්


රතු පලස් මත මල් පිපි මාවතක් නොවේ ජීවිතය

කළු කුහර ඇත හැම තැන සිහින මුලුමනින් ගිල දමන

කටුක දිගු දිවි මගේ නැගෙන දුක්           බෙදාගෙන

අත් වැල් බැඳන් ජීවිතය සොයා යමු අප        දෙදෙන




අකාලයේ මියැදුනු සඳ


අහෝ බලව් වෙඩි උන්ඩයේ        මදහසින

දපා වැටී උඩු බැල්ලෙන් බිම             සිඹින

රත් පැහැ සයනයේ යලි නොඑනට  නිදන

මිනිසෙක් සිටී මරුවා තුරුලට     රැගෙන


අම්මා තාත්තා අඬ අඬ බිම       හැපෙති

රැස්ව සිටියවුන් කසු කුසු හඬ      නගති

පුවත ඇසුනු අය තැන තැන සැරි   සරති

සිද්ධිය ඇසින් දුටු සඳ තරු ගොලුව  යති


ත්‍රස්තවාදියෙකු යැයි හංවඩු       ගැසුවේය

මල් පැන් පොදක් තොල ගෑවයි දොස් කීය

සැබෑ වැරදිකරුවන් අත්                  සේදීය

වසන්තයේ සඳ අඳුරට                    බිලිවීය


ගතවූ දිනේ රෑ සඳ පානේ       සිටිය

ඔහු යන්නට වීය බලමින්        පුරය

කාකි ඇඳුම එසවූ බටයෙන් නැගුන

චීන පටස් හඬකින් ඔහු විය නිසල


මූසල රැය පුරා නගරයෙ සැරි       සැරුව

ගොදුරට ලොබින් ඉව අල්ලාගෙන ඇදුන

අවසන් හුස්ම ගෙන ඔහුගේ          සරන

සුලඟ කියනු මැන සිදුවූ දෙය        සැමට


සඳ තරු නැගිට එනු මුනිවත       රකින

අළුයම නැගෙන හිරු සේ දුරු කර අඳුර

අකලට මිලින වූ කුසුමේ               අරුම

කියා යනු මැනවි හඬගා මුලු    ලොවට



මැෂින් හඬනගති අපටත් වඩා හයියෙන්


දිනෙන් දින වැඩි වන වැඩ කරන පෑ ගණන

අප ගතේ ශක්තිය උරාගයි උක් දඬු ලෙසට

කම්හලේ වැඩ කන්ද දරා ගත නොහැකිව

මේ මැෂින් කෑ ගසති අපටත් වඩා හයියෙන්


වර්ජන ,විරෝධතා මේ කිසිත් තහනම්‍ ය

"ලද දෙයින් සතුටු වනු",එයයි මෙහි පාඨය

ගෙවන සොච්චම් වැටුපට සිහින ඇකිලී ගොස්

කැටි ගැසී මුදල් වී ගොඩ ගැසේ ලාච්චුවල



 දෙතැනක තනිව


වෙන්ව දෙතැනක තනිව හමුවන්න    බැරි  දුරින
ඔබත් ඇති මා වගෙම සිහින සිතුවිලි   දරාගෙන
විරහ වේදනාවෙන් තැලී   රිදුනු හිත  පිරිමදිමින
අදුරු මේ රැය පුරා නෙතු කඳුලු        සඟවගෙන
                                                       
ඔබෙ ලොව මගෙ ලොව එකින් එක යා     කරන
පාලමයි මතක පොත බිඳුනු සිත් එක්        කරන

අසන්නට පෙම් වදන් එදා හිත                සැනසුව

පිය නගමි අතීතයට මතක පාලමෙන්  එතෙරව


සඳක් නැති රෑ අහසෙ නිවා දමනා        අඳුර
නිවි නිවී දැල්වෙන දහස් තරු වැල්      අතර
අදුරටම පෙම් බදින කලු වලා පෙල   අතැර
ඔබ ඉන්නවා සිතේ පුංචි තරුවක්       විලස



නොනිදන රැය


සුලං රැල් සිසිල ගෙන ඇදී එයි මා වෙතට

මගේ වත ඔබේ වත සොයයි රෑ උනුසුමට

නෙතු පියන් අද්දරින් ඔබේ රුව මැවේ මට

නොනිදාම නිදමි මම පහන් වන තුරාවට


එදා සිට තනිකමට හුරුවෙලා හිටිය මට

දැනෙයි අද තනිකම නුහුරක් ලෙසටම

මතක පොත දිගහැර සිත ගැහෙන සීතලට

එකින් එක දවන්නෙමි උනුසුමක් ලබන්නට


තව තවත් හද මත රැඳෙන්නේ කුමටද

අමතකද නුඹ හට මගෙන් වෙන්වුනු බව

දමා මා තනිකර නුබ ගියදා සිටම

හිමි නැහැ මගේ සිත නවතින්න ඔබ හට



ආදරය වරදක්ද


ආදරය වරදක්ද තනිවෙලා සිටින විට

මට හැඟෙයි සිඹින කල අතීතයෙ මතක පොත

පාසලේ නිල ඇඳුමෙ රැඳුනු සුවඳක් වෙත

සිත දුවයි යොවුන් වියෙ සුන්දරම කාලයට


පොතේ පිටු පුරා ලියු පෙම් සැමරුම් අතර

වියළුනු කඳුලු බිඳු ඇත රටා මව මව

මලක් සේ හිනැහී පරවුනත් කුළුඳුල් පෙම

ප්‍රේමයේ සුවඳ පොද තවම ඉතිරිය සිත ලඟ


මව්පියන්ගෙන් පෙමට වරම් ලබනට බැරුව

ඔබ එදා නොකියාම ගියත් මා තනිකර

පැරදුනේ අප දෙදෙන නොවේ එදවස වෙන්ව

උතුම් වූ ප්‍රේමයයි ගිලිහුනේ පරාදව


වෙන් වුනු දා පටන් කඳුලු ගංතෙර වැතිර

සිනාවක් මුවගට නැගුනු කාලයක් අමතකව

අතීතයෙ ප්‍රේමයේ නටඹුන් වල සිරව 

විඳින්නෙමි දඬුවම් පෙම් කල වරදට


කැකුළු සිත් සෙනෙහසින් එකට එක්කොට තබන

ආදරය වරදක් ය සිතන්නේ කෙලෙසද

වරදකැයි ආදරය පෙම්වතුන් වෙන් කෙරුම

එය නොවෙද වරද විඳිය යුතු දඩුවම


                                  

No comments:

Post a Comment