ඉර මියෙන සැඳෑවක
කොල පැහැය ඉහිරුනු උයනක
ඔබේ අතගෙන ඇවිද යන විට
නැගෙන කවි පද
කොහේදෝ තිබී සොයාගත්
කොල කැබැල්ලක අමුනන විට
දෑතේ එල්ලී
යාන්තමට කොනිත්තා
මුරන්ඩුව ඉල්ලන්නීය නුඹ
නුඹ වෙනුවෙනුත් කවියක්
නිදි වරා තුන් යමට
පදවැල් ගොතා එකිනෙකට
කවියක් පලකල විගසට
ඇවිටිලි කරයි නුඹ
"අනේ මා වෙනුවෙනුත් කවියක්"
මා පිලිතුරක් දුන් විට
නුඹ වෙනුවෙන් කවියක් ගොතන්නට
පදවැල් මදිය මට.
නෝක්කාඩුවෙන් ඈ හැරේ ඉවතට
අවනඩුව මුහුන තුල සඟවගෙන
පවසයි
"කවි ලියනවා හැරෙන්නට
මා වෙනුවෙන් කොහිද කාලයක්"
ඉතින් මා කවි ලීම මඳකට නවතමි.
සොඳුර පිලිගන්න,
මේ කවි නොලියන හෝරාව
නුඹ වෙනුවෙන්
ජීවිතයම ලියන්නටය.
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment