Tuesday, September 15, 2020

කවි නොලියන හෝරාව


ඉර මියෙන සැඳෑවක

කොල පැහැය ඉහිරුනු උයනක

ඔබේ අතගෙන ඇවිද යන විට

නැගෙන කවි පද 

කොහේදෝ තිබී සොයාගත්

කොල කැබැල්ලක අමුනන විට


දෑතේ එල්ලී

යාන්තමට කොනිත්තා

මුරන්ඩුව ඉල්ලන්නීය නුඹ


නුඹ වෙනුවෙනුත් කවියක්


නිදි වරා තුන් යමට

පදවැල් ගොතා එකිනෙකට

කවියක්  පලකල විගසට

ඇවිටිලි කරයි නුඹ


"අනේ මා වෙනුවෙනුත් කවියක්"


මා පිලිතුරක් දුන් විට

නුඹ වෙනුවෙන් කවියක් ගොතන්නට 

පදවැල් මදිය මට.

නෝක්කාඩුවෙන් ඈ හැරේ ඉවතට

අවනඩුව මුහුන තුල සඟවගෙන

පවසයි

"කවි ලියනවා හැරෙන්නට 

මා වෙනුවෙන් කොහිද කාලයක්"


ඉතින් මා කවි ලීම මඳකට නවතමි.


සොඳුර පිලිගන්න,

මේ කවි නොලියන හෝරාව

නුඹ වෙනුවෙන්

ජීවිතයම ලියන්නටය.


                                 ~සකුන්ත හිරිමුතුගොඩ~


No comments:

Post a Comment