සීත මදනළ කලු වලා හා පටලවාගෙන අතිනත
ඈත මිහිදුම සෙමින් ඇවිදින් වෙලාගද්දී මා ගත
පාත බලමින් සිහිකරන්නෙමි එදා හිමිවූ ඔබෙ අත
මෑත මා ළඟ තිබුනි නම් කෙතරම් මිහිරිද මේ සිත
මුහුණලාගෙන සිටියත් කිසි දාක එක්නොවන
පෙම්වතුන් ය කඳු මුදුන් දෙතැනකට වී වෙන්වුන
වැටෙන දුක් කඳුලු කැට තුරු අතර සඟවගෙන
අතු අගට මුතු කැට අතුරමින් උදා එලියේ හිනැහෙන
මේ ගමන් මග වගෙම කටුක,මුදු පා රිදෙන
ජීවිතය දුශ්කරය විටෙක අත් අත්හැරෙන
කිසිදා වෙන් නොවෙනට ගිවිසුවත් අප දෙදෙන
දුරස් වී ගොස්ය අද නෙතට නෙත මග හැරුන
අමුණගෙන සීත ඊ හිස ඇදී එන සුළඟට
අන්ධකාර සලුව පොරවා ඇදෙන මිහිදුමට
හීගඩු පිපෙන පොදයටද තුරුලු වෙමි යන්තමට
ඔබේ ලය උණුසුම සිහිවනු පිණිස මා හට
No comments:
Post a Comment