Friday, November 17, 2017

සිත්තරාවී


නිල් නුවන් තරු කැට අගින්

හිනැහෙමින්

සිත් අහසට ඉගි කරමින්

ජීවිතය මත 

නොමැකෙන සිතුවම් අඳිනා


සිතේ පෙර ඇදී ඇති

තනිකමේ බලි කුරුටු

මකන්නී ආදරෙන්

මහත් වූ සෙනෙහසින්


මගේ ලය මත හිස තබාගෙන

පාට රතැගිලි තුඩු අගින්

පිරිමදින්නී හදවත

සිතුවිලි පින්සල් පහරින්

පෙම් රටා අඳිමින්

නේක වර්ණ කැටි කරගත්

හැඟීම් පාට කූරූ

මගින් 

ජීවිතයම ඔප කරමින්

නොමැකෙන සිතුවම් 

අඳිනා

නුඹයි මාගේ සිත්තරාවිය…..


               ~සකුන්ත හිරිමුතුගොඩ~


Monday, September 25, 2017

පැමිනි දුක් පැනි රසද


ගිමන් කල කුරිරුකම් දරාගන්නා තරමටම

ලඟ එන වසන්තය කෙතරම් මිහිරි වූවද

අදටත් වඩා හෙට තවත් නරක බව දැන දැනම

පැමිනි දුක් පැනි රසයි සිතා කෙලෙසින්ද



සකුන්ත හිරිමුතුගොඩ

Thursday, September 21, 2017

මා ලියන කවි අතර


මා ලියන කවි අතර - නුඹ හිඳී සැඟව

කවි ලියන හැම විට - නුඹ නැගේ සිහියට

නුඹ මතක් වෙනකොට - හිත දුවයි ඉවතට

සිත රැඳුනු විට ඔබ ලඟ - කඳුලු එයි නෙතගට


කවියෙන් අඩක් ලියූ තැන - මතක පොත ඇරේ හෙමිහිට

වසා දමා කවි පොත - දුවන්නෙමි ඉවතට

කවියෙන් දුරස් වූ විට - සිත කියයි මෙලෙසට

කිසිදාක හිමි නොවන - සුන්දරම කවිය ඇය


කවි ලීම මෙතරම් - දුකක් යැයි සිතුනද

ලියන්නේ නොවෙද මා - හෙටත් මේ කවියම

කවි කෙතෙක් ලීවත් - කිසිදාක අත් නොහැරෙන

නුඹයි ලා හිරු කිරන - කවි සිත ඇහැරවන


              ~ සකුන්ත හිරිමුතුගොඩ~


Sunday, September 17, 2017

සඳවත


වලාකුලට මුවා වෙලා

ගිලන් ව 

වැහැරී ගිය සඳවත

රහසේම හඬා වැටෙයි

ලප කැලලින් පිරුනු

ඒ මුහුන කියන්නේ

තුන් යම නිදි නොලැබ

විඳි දුක් ගැහැට නොවෙද

අම්මේ නුඹෙ මුහුන

වාගේය සඳවත 

හොර රහසේම හඬන


සඳ වටා ගැවසුනු තරු කොහිද

හැංගීද

අපි වගෙම දුප්පත්කමට

උකස්කොට

අඳුරටම සින්න වීද


එබී බලනා විට

කකුලෙන් ඇදුමටම පොරකන

කලු වලා මැඩගෙන

එලිය කරනා සඳවත

නිහඬවම සිටින්නේ මන්ද

නොකියාම නූඹ විඳි දුක් කන්ද


අම්මේ නුඹ වාගේය සඳවත

හිරු නැති රෑ අහසෙ

එලිය බෙදනා ලොවට


දුක් කඳුලු මැඩගෙන

හෙටත් පායන්නේ නොවෙද

ගිලන් වූ සඳවත


~සකුන්ත හිරිමුතුගොඩ~


Tuesday, August 1, 2017

නිමා වූ වසන්තය


මුල්වරට
නුඹ මුන ගැසුනු දා
කොවුල් සර අවදි වී
මා හදේ වසන්තය අවදි විය.

මා ඔබේ ලොව තුල නැති බව
පැවසූ පසු
වසන්තය නිමවී
කොවුල් සර ගොලුවී
රුදුරු කටුක
ගිම්හානය ඇරඹිණ.

ගිම්හානයේ අග

නොසිතූ මොහොතක
ඔබ පැමිණ කීවද
මට ඇළුම් කල බව

එහෙත් කුමරිය

වසන්තය නිමාවූ පසු
ඔබ පැමිණ කීවද
මා ඔබේ කියා සොදුරිය
නිමාවූ වසන්තය යළිත් පිබිදේවිද

වසන්තයේදී ඔබේ පෙම පතාගෙන
තුරු අතරට වී ගී ගයමින් සිට
සැතපෙන කොවුලා යලි පිබිදේවිද

සිත් අරණ තුල පිපුනු පෙම් මල්
වසන්තයට පසු පරව ගොස් අද
කටු පදුර පමනක් ඉතිරි වී ඇත

දිය පහස පතා සිට වසන්තයේ අග
පවස දරාගෙන මියැදුනු ඒ පෙම
ඔබේ වදන් පොද වැස්සෙන් යලි පිබිදේවිද??


                                                      ~සකුන්ත හිරිමුතුගොඩ~


Tuesday, May 23, 2017

ආදරය වරදක්ද



ආදරය වරදක්ද තනිවෙලා සිටින විට

මට හැඟෙයි සිඹින කල අතීතයෙ මතක පොත

පාසලේ නිල ඇඳුමෙ රැඳුනු සුවඳක් වෙත

සිත දුවයි යොවුන් වියෙ සුන්දරම කාලයට


පොතේ පිටු පුරා ලියු පෙම් සැමරුම් අතර

වියළුනු කඳුලු බිඳු ඇත රටා මව මව

මලක් සේ හිනැහී පරවුනත් කුළුඳුල් පෙම

ප්‍රේමයේ සුවඳ පොද තවම ඉතිරිය සිත ලඟ


මව්පියන්ගෙන් පෙමට වරම් ලබනට බැරුව

ඔබ එදා නොකියාම ගියත් මා තනිකර

පැරදුනේ අප දෙදෙන නොවේ එදවස වෙන්ව

උතුම් වූ ප්‍රේමයයි ගිලිහුනේ පරාදව


වෙන් වුනු දා පටන් කඳුලු ගංතෙර වැතිර

සිනාවක් මුවගට නැගුනු කාලයක් අමතකව

අතීතයෙ ප්‍රේමයේ නටඹුන් වල සිරව 

විඳින්නෙමි දඬුවම් පෙම් කල වරදට


කැකුළු සිත් සෙනෙහසින් එකට එක්කොට තබන

ආදරය වරදක් ය සිතන්නේ කෙලෙසද

වරදකැයි ආදරය පෙම්වතුන් වෙන් කෙරුම

එය නොවෙද වරද විඳිය යුතු දඩුවම


~සකුන්ත හිරිමුතුගොඩ~


Thursday, April 6, 2017

කොවුලනි නොගයන්න


කොවුලනි නොගයන්න

තවත් වසත් ගීය

වසන්තය ළඟ ළඟම 

එන බව කියමින්


නීරසය ඒ වදන් 

දැන් නම් දෙසවනට

නුඹ,

උගුර ලේ රහ වනතෙක් 

කෑ ගසා කීවද

ගතවූ වසරකම

වසන්තය නම් 

ළඟ පාතකවත් නැත


වැඩපලේ,

කොඳු කැඩෙන වැඩ තොගය 

වෙහෙසෙන තරමටම වැටුපක් නොලැබේය

සීත පුටු රත් කරමින් මහ උන් තරවේය.


මට නම්

අවුරුද්ද

තවත් එක දවසකි

ගෙවී ගිය දින ගනන්

වාගේම

කටුකය ගිම්හානය සේම


එරබඳු මල් සුපිපෙන්න

තව තවත්

අතු අගට වී 

රත් පැහැයෙන් බබලන්න

පවසමින්

අපගේ කඳුළු කතාව

ලේ කදුලු දිය කර හරින.

  

                        ~සකුන්ත හිරිමුතුගොඩ~


Saturday, February 25, 2017

බලාපොරොත්තුව

 

අඟහිඟකම් අහස උසට

හිත දවමින් නැගෙනා විට

ජීවිතයේ දුශ්කර බව

හද සිතුවිලි පෙලනා විට

බාධක දුක් පීඩා මැද

දිවියේ අරුත බිඳී යන විට

ජීවිතය අලුතින් ලියවන

එකම සිහිනය 

නැවුම් ලොවක් ගැන බලාපොරොත්තුව


~සකුන්ත හිරිමුතුගොඩ~


Sunday, January 1, 2017

අසමානතාව


නගරය තුල අහස උසට සැදි            මාලිගාය

ඒවා තුල නටන වයන බඩවල් සහ කටවල් ය

රස මසැවුල් විඳින බඩ මහත        ඇඟවල් ය

ඔවුන් අත තිබුනේ මීවිත පිරි               වීදුරුය


තැනින් තැන විසිරුනු බල්බ් වැල් විසිතුරු

මවයි එලි දේවතා සදෙව් ලොව       අයුරු

දසත එන ගීතිකා හඬ නැගෙයි       මියුරු

විඳිති දන මේ සැප ලෙසට             අමයුරු


සිනහ මුසු මුහුනුය තැනින් තැන තිබුනේ

රත් පැහැ නෙත් ය සාදයෙම        මැවුනේ

සොඳුරු පිලිසඳරවල් ඒ අතර       රැඳුනේ

නොයෙක් භෝජන වලිනි සාදයම පිරුනේ

 

 *      *       *       *      *     *     *       *  

දිරාපත් ලෑලි වලට ඇන                ගසා

සදා තිබුනි බිත්ති සතර සිව්           දිසා

තිබුනේ අඳුරු බවකුයි නිවෙස්      වසා

නැංවෙයි රිදුම් හඬ පවුලක්         පාසා


එකින් එකට පූට්ටු කර තනා තිබුනු ලෑලි   ගෙවල්

අතර නොතිබිනි තැනින් තැන විසිතුරු බල්බ් වැල්

තිබුනේ අහරක් නොමැතිව වැහැරී ගිය     බඩවල්

කෘෂ ඇඟවල් තැන තැන ලෙස වේලුන     පරඬැල්


ගැහැනුන් අතර නැත තිබුනේ නෙත් දවටන    රසඳුන්

ඇවිදින මල සිරුරු ඇත හැමතැන                   සරමින්

දැඬි නියගයට පසු මිහි කත වතුර බිංඳු යදින ලෙසින්

ඇරී තිබුනි කටවල් ඉහලට යන්තම් අහරක්    යදිමින්


                                          ~සකුන්ත හිරිමුතුගොඩ~