ජීවිතයෙ බර තදින් පැටවී
කිරුල ගිලිහී වැටුන දවසක
සිනා ඉරි ඇදවී
දුකම ඇඳෙනා විටෙක
ඔබට තනියක් දැනුන මොහොතක
මා සොයාගෙන එන්න
බොහෝ දුක්බර රාත්‍රීන් මැද
තරු ඇලෙව්වේ අහසෙ තැනින් තැන
කවද හරි දවසක
මා සිටින දෙස ඔබට පෙන්වන්න
මතක් වෙනවත් ඇති සමහරක් විට
මම ඉන්න දිහාව ඉඟියෙන්
ඒ කාලේ විවේකී දවස් වල
ඔබේ දුරකථනයෙන් එවුව පනිවිඩ
මෙහේ සිග්නල් කනුයි
හිඳිනා වන ඉසව් සොයාගෙන
කඳුකර කැලෑ පීරගෙන
මට එව්වේ නොපමාව
ඒ තුරු වදුලු මිතුරන්ගෙන්
මග අසාගෙන මෙහි එන්න
හිතනවත් ඇති සමහරක් විට
නොදී අන් අයට දුක් කන්ද
හැකිවේවී යයි
දුරු කරන්නට තනියෙන්ම
හිස වටා කැරෙකෙන
කලු වලා කුනාටුව
මන් දන්නවා,
ඒ කාලෙදිත්
හැම විටම හිටියෙ
පහන් එලියක් වගේ
ඔබේ ලඟ දුක් අඳුර රැඳුනත්
වටේම එලිය කරගෙන
හැබැයි
එහෙම මිනිස්සුන්ටත් එනවා,
ඒ හුරු පුරුදු විදියට
ගෙවාගන්නත් බැරි දවස්
බරැති හිස වාරු කරන්නට උරහිසක්
ඕනෑ කරන හවසක්
මන් ඉන්නේ
තේ වතු මැද්දේ
පඬු පැහැ ගැන්වුන රෝහලේ
බෙහෙත් අඟහිඟකම් අතර
මේසයක කෙලවර
මිනිසුන්ගෙ දුක් අඳෝනා අසාගෙන
ඔබ එදා මට දුන් හදවතේ තෙතයි
උනුවෙලා ගලන්නේ
මීදුම් වෙලා මේ මිටියාවතේ
කොළඹ දිහා වගේ නෙවෙයි
මෙහෙ එද්දී
නගින කඳු මුදුන් තරමටම
දුෂ්කරයි ජීවිතය
සවන් යොමා අහන හැටි
රිදුම් පිරිමදින එක
හොඳට පුරුදුයි මට
නෑ හිතේ කිසි කහටක්
ඉතින් ඔබ එන්න
නිරාමිස හැඟීමක් පමනයි
දැන් සිත තුල ඉතිරිව
හැකියි මට කන්දෙන්නට
ඔබ හට
කිසිම විනිශ්චයකින් තොරව
නැගෙන දුක් කඳුලු කැට
මා ලයේ වගුරන්න
කාටවත් නොකියුව
නොකිය ඉන්නට හිතුව
අඳුරු අහුමුලු පෙරලන්න
ඉතිරිය මට පවරන්න
හදේ දාහය නිවා
තෙතමනය ගල්වන්න
දුක් අඳුර දුරුවෙන්න
සීත මීදුම් අඳුර මැද්දේ
ජීවිතය උනුහුමින් පිබිදුන දිනෙක
හසරැලි මුව පුරා දල්වගෙන
යලිත් ඔබ ආපිට යන්න
මෙහි එන විට
මතක ඇතුව
හුලං හමන අත බලා
මා එවූ පනිවිඩයෙ
කියූ දෑ බෑගයට රුවාගන්න
"ඔබ ලඟ තිබෙන අන්තිම ලියුමත් රැගෙන එන්න"
මා ගෙන ආ හසුන්
යලි යලිත් කියවා දැන්
ඉස්පිලිත් පාපිලිත් හොඳට කටපාඩම්
*මනෝවෛද්‍යවරයෙකුගෙන් සිය පැරනි පෙම්වතියට
No comments:
Post a Comment