Monday, October 21, 2024

පුංචි සිත්තරාගේ හැන්දෑව

හැන්දෑව ලං වෙනකොට ඉර සිත්තරෙක්

දිය සායම් විසික් කරනවා අහසට

එක තැනක් නිල් පාටින්

කහ පාටින් - රතු පාටින් 

ඉර ගාවම හරිය තැඹිලි පාටින්


වලාකුළුත් හිටි හැටියෙ

ඉල්ලගෙන බිංදුවක් දෙකක්

තවරගන්නවා හැඩ වෙන්න

 

අන්තිම හරිය විසික් කරනවා මුහුදට

සේලයක් වගේ 

තැඹිලි පැහැ ගැන්වෙන්න ඡායාව


වැස්ස දාකට එහෙම 

සායම් පෙට්ටිය

අඳුරු වලාකුලු අස්සෙ

හංගගන්නවා ඉර




කොච්චර පරිස්සම් කෙරුවත්

සමහරක් වෙලාවට - වැහි බිංඳු වැටිලා

සායම් හේදිලා වෑහෙනවා

වලාකුලු අතරින් බේරිලා යන්නම

ඒත් ඊලඟ දවසෙත් හැන්දෑව ලංවෙනකොට

අඳින්න පටන් ගන්නවා

චිත්‍රය


තාත්තේ,

හැම මාසෙම අන්තිමට එන

පඩි දවස් කීපයක් එකතු කර 

ගෙනත් දෙන

කොච්චර පරිස්සමින් ඇන්දත්

ඉක්මනින් හිස් වෙන

පාට සායම් පෙට්ටිය වෙනුවට


ගෙනත් දෙන්න බැරිවත්ද

ඉවර වෙන්නැති 

දිය සායම් පෙට්ටියක්

ඉර වගේ

ලෝබ නැතුව පාට කරන්න

චිත්‍ර පොත පිරෙන්නම

 


No comments:

Post a Comment