Friday, December 20, 2024

දැහැන් බිඳ


තරප්පුව දිගේ ලංවෙන
කනට හුරු
පාවහන් තුඩු ඇනෙන සද්දෙට
ඇහැරුනා - නිද්රාබර ලෝකයෙන්
හුරුබුහුටි ගවුමකින් සැරසිලා
ඇය එන පෙර ලකුනු කියනවා
එලියෙ ඉදලා කාමරයට එබෙන
ලයිට් එලියෙ ඡායාව
ඔත්පලව එක්තැන් වුන ගතින් මිදිලා
හිත නැගිටලා බලන් ඉන්නවා
ඇය එන දිහා - තාලයට
පා සද්දෙ අහගෙන
මකුලු දැල් කඩනවා කාමරේ
අලුත් සතියට මාරුවෙනවා ඇතිරිල්ලක් ඇඳට
බඳුනට අලුතෙන් මල් පොකුරක්
ඒ අතරතුර අමතක නොකරම ඇය බිඳිනවා තපස
අවට ලෝකය ගැන එකදු වග තුගක් නොදැන
කිසිම හැඟීමක් නොමැතිව කටුව තුලට ගුලිව
පැරනි කුටිය පුරා සත් දිනක් අරක් ගත්
ගොලුබෙලි දැහැන
පුවත්පතෙන්, රූපවාහිනියෙන්, කනින් කොනින්
අසා දැනගත් දෑ කියනවා ඇයගේම කෝනයෙන්
සමහරක් සුමටව - තවත් දෑ උච්ඡ ස්වරයෙන්
කේන්ති ගන්නවා මාත් එතකොට
ඇගෙන් බැනුම් ලබනා මුදලාලිලා, අම්මන්ඩිලා වෙත
හෙමි හෙමින් කටුවෙන් එලියට දානවා ඔලුව
ඇගෙන් ලත් තතු අසා - කරකවනවා ඇන්ටනාව වටේට
කුටියෙන් එපිට ලෝකය ගැන දැනගන්නවා එයින්
හුදකලා මිනිස් ප්රානියෙකගේ
විතරාගී අන්ධකාරය බිඳ
ජීවිතාශාවේ ලන්තෑරුම දල්වනවා ඇය
අලුත් හැඟුමකින් පුරවා
කුටියේ හතර දිග්භාගයම එලිය කරගෙන
දෙහෝරාවකට පසු
තරප්පුව දිගේ ඈතට මැකී යනවා
හුරු පුරුදු අඩි සද්දය
කෙමෙන් ගුලි වෙනවා ආයෙත් නිද්රාවට
තපස් දැහැනට

No comments:

Post a Comment